පසුගිය දශකයේ දී ආසියා රටවල ආර්ථික දේශපාලනික ප්‍රබල වර්ධනයක්

පසුගිය දශකයේ දී ආසියා රටවල
ආර්ථික දේශපාලනික ප්‍රබල වර්ධනයක්

‘ආසියානු දසකයක්’ උදාවෙන ලකුණු

පසුගිය දසකය තුළ නැගී එන ආසියාතික රටවල ආර්ථික සහ දේශපාලනික බලය ප්‍රබල ලෙස වර්ධනය වී තිබේ. එමනිසා පසුගිය දස වසර ඉදිරි ‘ආසියානු දසකයේ’ පදනම දැමූ දසකය ලෙස සලකනු ලැබේ.

විවිධ බාධක පැමිණිය හැකිවුවත්, චීනයේ සහ ඉන්දියාවේ ප්‍රමුඛත්වය යටතේ ‘ආසියානු දසකය’ උදාවනු ඇති බව, සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පවසයි. බ්‍රිතාන්‍ය දසකයෙන්, සහ ඇමෙරිකන් දසකයෙන් අනතුරුව ඇතිවන්නේ ‘ආසියානු දසකය’ බව නිරීක්ෂකයන්ගේ, මෙන් ම ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

චීනය 8%කට ඉහළ ප්‍රබල ආර්ථික වර්ධනයක් වාර්තාකර ඇති බැවින් ලබන දසකය ‘චීන දසකය’ ලෙස හැඳින්විය යුතු බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. ඉන්දියාව ද 7%ක ආර්ථික සංවර්ධන වේගයක් අත්කරගෙන සිටී.

මේ සමගම මේ දෙරට දේශපාලන බලවතුන් වශයෙන් ඉස්මතු වී ඇති බැවින්, එම රටවල් දෙකේ අනුමැතියෙන් තොරව කිසිදු ගෝලීය එකඟතාවක් ඇති කරගත නොහැකි වනු ඇති බව දේශපාලන විද්වත්හු පවසති. ඉකුත් 18 වෙනිදා නිමවූ ජගත් දේශගුණික සමුළුවේ තීන්දු තීරණ මීට නිදසුන් ලෙස ඔව්හු දක්වති.

සන්නිවේදන ජාලයක් තුළින් චීනයේ ආධිපත්‍ය ලොව පුරා පැතිරවීම සඳහා ඩොලර් බිලියන 6.5ක් වැය කිරීමට චීනය බලාපොරොත්තු වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා