දරුවන් පස්දෙනකු සමඟ පවුලක් ප්‍රජා ශාලාවක

ඉන්න හිටින්න තැනක් නෑ

දරුවන් පස්දෙනකු සමඟ පවුලක් ප්‍රජා ශාලාවක

ඉන්න හිටින්න තැනක් නොමැතිව දූදරුවන් පස්දෙනෙකු සිටින පවුලක් උතුරු කළුතර එතනමඩල ප්‍රජා ශාලාවට පැමිණ ලැගුම් ගෙන තිබේ.

අප එහි යන විට පාසල් සිසු සිසුවියන් වූ හෂාන් පෙරේරා (අවු. 16), දිනුෂ්ක ළහිරු (අවු. 14), නිමේෂා සෙව්වන්දි (අවු. 10), දිනේෂ් කුමාර (අවු. 09) සහ පි‍්‍රයංගිකා පෙරේරා (අවු. 04) යන අය සමඟ සිටි ඔවුන්ගේ මව වන රංජනී සිල්වා (අවු. 39) යන අය මෙසේ කීවාය.

අපි ඉස්සෙල්ලා හිටියේ ජාවත්ත පැත්තේ කුලී ගෙදරක. ඒක ඉතා අබලන් එකක්. ඒ ගෙය කඩා වැටුණාම අපට යන එන තැනක් නැති වුණා. මගේ ස්වාමි පුරුෂයා කරන්නේ කුලී වැඩ. දැන් ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ගෙවල් හදන තැනක වැඩ කරනවා.

කුලියටවත් ගෙයක් හොයා ගන්න බැරිව අපි ඉන්නකොට මොරගහකන්ද පාසලේ සුධම්ම හාමුදුරුවෝ මැදිහත්වෙලා අපට මේ ප්‍රජා ශාලාවේ ඉන්න ඉඩ සලසලා දුන්නා.

කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන, සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරි මල්රාජ්, කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහකාරිනී ඒ. පුෂ්පා රංජනී මහත්ම මහත්මීන් එම දරු පවුලේ තොරතුරු නිරීක්ෂණය කළ අයුරු.

මේ පවුලේ තොරතුරු සොයා බැලීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා පසුගියදා එහි ගියේය.

මේක ගමට අයිති ප්‍රජාශාලාව මේක ආපසු ගමට භාර දෙන්න ඕන. ඒ නිසා අපි මේ දරු පවුලට ජීවත්වෙන්න ගෙයක් හදා ගැනීම සඳහා රජයේ ඉඩම් කැබැල්ලක් වෙන්කර දෙන්න සැලැසුම් කර තිබෙනවා.

ඒ ඉඩමේ ගෙයක් හදා දෙන්න පරිත්‍යාගශීලීන් කීප දෙනෙකු දැනටමත් දායකත්වය ලබාදී තිබෙනවා. ඒත් ඒ මුදල් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තවත් කීප දෙනෙකු හෝ එකතු වුවහොත් මේ අසරණ පවුල සඳහා අපට ගෙයක් හදාදීමට පුළුවන් වේවි යැයි කළුතර ප්‍රාදේශීය ලේකම්වරයා අදහස් දක්වමින් පැවැසීය.

කළුතර සහකාර ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා සහ ජාවත්ත කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරිනී ඒ. පුෂ්පා රංජනී මහත්මියද මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා