කෙසෙල් කොළයෙන් පරිසර හිතකාමී පිඟන්

කෙසෙල් කොළයෙන් පරිසර හිතකාමී පිඟන්

කෙසෙල් කොළ වලින් පරිසර හිතකාමී පිඟන් ක්‍රමයක් මාතර කෘෂිකර්ම මධ්‍යස්ථානය කළ අත්හදා බැලීමේ පරීක්ෂණයකදී සොයා ගෙන ඇත.

මේ තාක්ෂණය යටතේ ඉදුණු පත්‍ර, ඉරුණු, වියළි, ඉවතලු පත්‍ර මේ සඳහා භාවිත කළ හැකිය.

කෙසෙල් කොළ පිඟන් තැනීමට පියවර කීපයක් ඔස්සේ සිදු කැරේ. පළමුව කෙසෙල් පත්‍රය අවශ්‍ය ප්‍රමාණය පිඟන්වල හැඩයට කපා ගැනීම හා කපා ගනු ලැබූ කොටස පදම් කිරීමයි.

පදම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද දෙකක් පවතී. එහිදී කට පළල භාජනයකට පිරිසිදු වතුර නටවා කපාගත් පත්‍ර කැබලි තත්පර 1 – 2 පමණ ගිල්වා ඉවතට ගැනීම, නැතහොත් කට පළල භාජනයකට රෙදි කඩක් බැඳ වාෂ්පයට එන විට එම වාෂ්පයට හසුවන සේ රෙදි කඩ උඩින් කොළ කැබැල්ල තබා තත්පර 20 – 30 පමණ තම්බා ඉවතට ගැනීම යන ක්‍රමවේද දෙක යටතේම කෙසෙල් කොළ පදනම් කර ගත හැකිය.

දෙවැනි පියවර යටතේ පදම් කරනු ලැබු පත්‍ර ඇලවීමට සව් මිශ්‍රනයක් සකස් කර ගන්නේ එය උකුවට සිටින සේ කැඳක් ආකාරයෙන් සකස් කර ගත යුතුය.

තෙවැනි අදියරේදී කෙසෙල් කොළ තට්ටු අතරට සව් කැඳ තවරා තට්ටු 3 – 4 ක් පමණ එකට සිටින සේ ඇලවීම කළ යුතුය. පත්‍ර කැබැලි යොදා ගත්තේ නම් නියමිත හැඩයට කපා ගත් සම්පූර්ණ පත්‍ර කැබැල්ලක් මත ඉරිගිය පත්‍ර කැබලි ඇලවිය යුතුය. හතරවන පියවර යටතේ පිඟන් අතට තැබීම සිදු කරන අතර එහිදී අලවාගත් කොළ කට්ටලය පිඟන් 02 අතරට හිරවන පරිද්දෙන් හොඳින් තද කළ යුතුය.

පස්වැනි අදියර යටතේ එමකට්ටලය අච්චුව තුළ තිබියදීම නටන වතුරේ වි. 3 – 4 පමණ ගිල්වා තැබීම පසු ඉන් ඉවත් කොට ඇල් ජලය බඳුනක වි. 3 – 4 ක් ගිල්වා තැබිය යුතුය. සයවැනි පියවරේදී ඇල් ජලයෙන් ඉවතට ගෙන උපකරණය ලිහිල් කර සකස් වූ පිඟන් අච්චුව තුළින් ගලවා ඉවත් කර ගැනේ. අනතුරු මද පවනේ පැය කිහිපයක් තබා ශීතකරණයේ තබා හෝ භාවිතයට ගත හැකිය.

තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේ කාර්යභාර පර්යේෂණ නිලධාරී ආචාර්ය සුජාතා වීරසිංහ නිපැයුමේ නිර්මාතෘවරියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා