ගමේ කාගේත් හොඳ හිත දිනූ නන්දසිරි ජල රකුසාට බිලි

ගමේ කාගේත් හොඳ හිත දිනූ නන්දසිරි ජල රකුසාට බිලි

ධාරණිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය දිනවල ඇතිවූ ගංවතුරට කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ගලහිටියේ දෙදරු පියකු බිලිවිය.

නන්දසිරි මහතා

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම සුවයෙන් සිටි පනස්හතර හැවිරිදි කේ. ඒ. නන්දසිරි ය.

නන්දසිරි පදිංචි නිවෙස වටා ගංවතුරින් යට වී තිබුණි. ඔහුගේ පාදයක පවතින තුවාලයන් සඳහා ප්‍රතිකාර ගැනීමට අසල්වැසි නිවෙසකට යාමට මද වැස්සේ ගෙදරින් පිටවිය. නමුත් ඒ ජල පහරේ ඇවිද යන්නට නන්දසිරිට හැකි වුණේ නැත. ඔහු ජලයට වැටී ගසාගෙන ගියේය.

අසල නිවෙසක පදිංචිව සිටි එස්. මල්කාන්ති මහත්මිය මේ සිද්ධිය සියසින් දුටුවාය. ඇය මෙසේ කීවාය.

මව නිවස අසළ සිටින විට එකවර දැක්කා කවුද ජලයේ පාවෙනවා. මා කෑ ගැසුවා. කව්ද ගංවතුරට ගසාගෙන යනවා ඇවිත් ගන්න කියලා මගේ කෑ කෝ ගහන ශබ්දය ඇසිලා අසල්වැසියන් ඇවිත් වතුරට බැහැලා සොයන්න පටන් ගත්තා.

බිරිය අනුලාවතී

ටික වේලාවක් යද්දී ජලයට වැටිලා තියෙන්නේ නන්දසිරි මාමා බව දැනගත්තා.

මියගිය අයගේ බිරිය වන එච්. අනුලාවතී මහත්මිය තම ස්වාමියාගේ වියෝව දරාගත නොහැකිව හැඬූ කඳුලින් අප සමඟ මෙසේ කීවාය.

මගේ මහත්තයා විශ්‍රාම ගැනීමෙන් පස්සේ අපිත් එක්ක බොහොම ආදරයෙන් ජීවත්වුණා. ප්‍රදේශයේ සමාජසේවා කටයුතු වලදී නායකත්වගෙන ක්‍රියා කළා.

සිද්ධිය වූ දින මමත් එයත් නිවසේ සිටියා. අධික වර්ෂාව තිබුණා.

ගංවතුරින් අවතැන්ව සිටි පවුල්වලට ආහාර පාන දෙන්න උදව් උපකාර කළා පුතාටත් හැම තිස්සේම කීවේ ඔරුවෙන් ගිහිල්ලා මේ ආහාර බෙදන්න උදව් කරන්න කියලා.

සැමියා නිවෙසින් පිටවෙලා යනවා මමත් දන්නේ නැහැ. වතුර පිරිලා තිබෙන ප්‍රදේශයෙන් ගිහිල්ලා තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ .

මළසිරුර බදුරලිය රෝහල වෙත ගෙනවිත් බදුරලිය ප්‍රදේශයේ හදිසි මරණ පරීක්‍ෂක එච්. සී. ගුණසේකර මහතා හමුවේ මරණ පරීක්‍ෂණය පැවැත්විණි. ඉදිරිපත් වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂකවරයා දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණයක් ලෙස තීරණය කළේ ය.

බදුරලිය පොලිසියේ ස්ථානාධිපති දමිත් ජයතිලක හා පො. කො. සුමිත් යන මහත්වරු පරීක්‍ෂණ මෙහෙයවති.

ඡායාරූප මතුගම සංචාරක

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා