චෙන්නායි වෙසක් අසිරිය
චෙන්නායි වෙසක් අසිරිය

අති විශාල ජනකායක් මැද පෙරහර වීදි සංචාරය කරයි

ශ්‍රී ලංකා මහා බෝධි සංගමය, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව සංවිධානය කළ 2010 චෙන්නායි වෙසක් උළෙලේ ප්‍රධාන අංගය වූ පෙරහර 30 දා සවස පැවැත්විණි.

සවස 4.00 ට වීදි සංචාරය ඇරැඹූ පෙරහර කෙනට් වීදිය ඔස්සේ පාත්ඩියන් වීදියටත් අනතුරුව ප්‍රධාන වටරවුම ඔස්සේ එග්මෝර් නගරය මැදින් පැමිණ සවස 6.00 වන විට චෙන්නායි මහා බෝධි මන්දිරයට ගෙවදිති.

කඩුවෙල පංකජනී, බද්දේගම සාරංගා කලායතනය සහ කතෝලික විදුහලක් වූ වැලිවේරිය ත්‍රිස්තුරාජ විද්‍යාලයේ සිසු සිසුවියන් විශාල පිරිසක් පෙරහරේ විවිධ නර්තනාංගයන් ඉදිරිපත් කළහ.

සිංහල හා දෙමළ සංස්කෘතිකාංග ගණනාවකින් සමන්විත වූ පෙරහර නැරඹීම පිණිස අති විශාල ජනතාවක් මඟ දෙපස රැස්ව සිිටියහ.

මෙදින පෙරහරේ විශේෂත්වයක් වූයේ උතුරු ඉන්දීය, තායිලන්ත, බුරුම, නේපාල, බංග්ලාදේශ රටවල් නියෝජනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටීමය.

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා ද පෙරහරේ ගමන් කිරීම විශේෂ සිදුවීමක් විය.

පෙරහර මහබෝධි මන්දිරයට ගෙවදීමෙන් අනතුරුව දහම් හමුව ආරම්භ වූ අතර රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවනු ලැබුවේ නුගේගොඩ නාලන්දාරාමාධිපති චෙන්නායි මහාබෝධි සංගමයේ සභාපති කිනියාවල පාලිත හිමියන් විසිනි.

මේ දහම් හමුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ තිරුනල්වේලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරවානන් මහත්වරු විශේෂ දෙසුම් පැවැත්වූහ.

දහම් හමුව සඳහා ඉන්දියාවේ දෙමළ බෞද්ධ බැතිමත්හු සහ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ බැතිමත්හු විශාල පිරිසක් සහභාගි වූහ. චෙන්නායි වෙසක් උළෙල මෙවර පැවැත්වුණේ දහවැනි වරටයි.

තීනියාවල පාලිත, කලවානේ මහානාම සහ නාගල සමිත හිමිවරුන්ගේ සංවිධායකත්වයෙන් මේ වෙසක් උළෙල පැවැත්විණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා