උඩරට රජුට සිංහාසනය සෑදූ පට්ටලේ ගෙදර පරපුර

උඩරට රජුට සිංහාසනය සෑදූ පට්ටලේ ගෙදර පරපුර

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ දියසුන්නත ග්‍රාම නිලධාරි වසමේ ඡන්ද හිමි නාමලේඛනය පරීක්ෂා කිරීමේ දී ‘සිංහාසන පට්ටලේ ගෙදර’ යනුවෙන් සඳහන් වාසගමක් දක්නට ලැබේ. සිංහාසනය යනු මහනුවර රජ සමයේ රජතුමා අසුන්ගත් ආසනයයි. එම ගාම්භීර නාමයෙන් වාසගමක් ඇති පිරිසක් රඹුක්කන ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. උඩරට රජුගේ සිංහාසනය නිපදවූ පරපුරේ පිරිසක් ලෙස මොවුන් සැලකේ.

උඩරට රජුගේ සිංහාසනය වූ කලී ඉතා ගාම්භීරලෙස සාදන ලද අත් පුටුවකි. ලීවලින් තැණූ මේ සිංහාසනය උසින් අඩි පහකි. පළලින් අඩි තුනකි. ගැඹුරින් අඩි දෙකකි. මෙය මාණික්‍යය ඔබ්බවන ලද සිහින් වූ රන් තහඩුවලින් වසා තිබේ. පුටුවේ අත් ඇදි දෙක කෙළවර කැටයමින් තිබෙන රන්මුවා සිංහයන් දෙදෙනාගේ ඇස් ද අඹතේස්ක නම් මැණික් ගල්වලින් සමන්විතය.

පුටුවේ පිටුපස මැද තවත් විශාල අඹතේස්ක මාණික්‍යයකින් විසිතුරු වූ සූර්ය කාන්ත පුෂ්පයක සටහනක් කැටයම් කර තිබේ. ඉදගන්නා කොටස රතු විල්ලු ද අල්ලා අලංකාර කර තිබේ. පා පුටුව අඟල් දහයක් උසය. අඩියක් පළලය. අඩි දෙකහමාරක් දිගය. එය රතු හුයෙන් කරන ලද ලෝහිත වර්ණ වූ සේද පටියකින් වසා තිබේ.

මහනුවර රාජධානියේ විසූ අපේ ම අති දක්ෂ ශිල්පීන්ගේ අතින් නිමවූ මේ සිංහාසනය සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ කාලයේ දී එංගලන්තයට ගෙනයන ලද අතර මේ කෞතුක වස්තුව වින්සර් මාලිගයේ සුරක්ෂිතව තැන්පත් කර තිබී පසු කලක එය අපේ රටට භාරදෙන ලදී. අද මේ සිංහාසනය මහජන කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර තිබේ.

සිංහාසනය

මේ වාසගම සහිත නිවස පිහිටා තිබෙන්නේ රඹුක්කන දියසුන්නත විහාරස්ථානයට සමීපයෙහි ය. මේ පරපුරේ දැනට සිටින වයස්ගත පුද්ගලයා වන්නේ සිංහාසන පට්ටලේ ගෙදර පියසේනය. ඔහුගේ වයස අවුරුදු 86 කි. කය වෙහෙසා තවමත් කම්මල් වැඩ කරන දක්ෂ කම්මල්කරුවෙකි. දරුවන් සිව් දෙනකුගේ පියෙකි.

බිරිය තුන්බෝවිල ආරච්චිගේ සුසිලාවති (77) කි. වැඩිමහල් පුතුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ ගරාජ් දෙකක් පවත්වාගෙන යන අතර, බාල පුත්‍රයා ලංගම කාර්මිකයෙකු වශයෙන් සේවය කරයි. බාලම දියණිය දෙමාපියන් සමගින් ජීවත්වෙයි.

පියසේන මහතා තම කම්මලේ වැඩ කරමින්

තම පරපුරට ‘සිංහාසන පට්ටලේ ගෙදර යන වාසගම ලැබුණු හැටි පියසේන මහතා අප සමඟ මෙසේ කීය.

ලංකාවේ අපේ මිනිස්සු සේරම ඉන්නේ පට්ටල් හතරකට අයිති අයයි. අපි සිංහාසන පට්ටලේට අයිති අය. උඩරට රජුගේ ඉල්ලීමට සිංහාසනය සාදා දුන්නේ අපේ මී මුත්තා කෙනෙක්. ඒ ගැන සන්තෝසයට පත්වුණු රජතුමා මී මුත්තාට මේ නම්බුනාමය දීලා මහනුවර මැණික්හින්න ගම ගම්වරයක් වශයෙන් දීලා තියෙනවා.

පියසේන මහතා තම බිරිය, බාලපුතු හා
දියණිය සමඟ

රජතුමාට ඔටුන්න සාදලා දුන්නු අයට ඔටුනු පට්ටලේ ගෙදර’ කියන නම්බු නාමයත්, රජතුමාටත්, බිසවටත් රන් ආභරණ සාදාදුන් අයට ‘ආභරණ පට්ටලේ ගෙදර’ කියන නම්බුනාමයත්, රජතුමාට කඩුව සාදාදුන් අයට ‘රන් කඩු පට්ටලේ ගෙදර’ කියන නම්බුනාමයත් ලැබුණු බව තමයි අපේ ඉතිහාසය ගත්තාම කියවෙන්නෙ.

කොළඹ නුවර මාර්ගයේ මුලින් ම රඹුක්කන දක්වා දුම්රියක් ධාවනය වූයේ 1864 දීය. දුම්රියෙන් මගීගෙනයාම ආරම්භ වූයේ 1866 දිය 1867 දී මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීමේ දී ඒ සඳහා දුම්රිය පීලි සිල්පර කොටවලට සවිකිරීම සඳහා යකඩ ඇණ අශ්වලාඩම හැඩයට නවා ගැනීම සඳහා පැමිණ ඇත්තේ දියසුන්නත ගමේ පිහිටා තිබූ අපේ පරම්පරාවට අයත් කම්මලකටය.

ඒ බව ආඩම්බරයෙන් පැවසීමට පියසේන මහතා ක්‍රියා කළා. තවමත් කම්මල්කරුවෙකු වශයෙන් ක්‍රියා කරණ පියසේන මහතා ගෙන් ඉටුවන සේවාව අති මහත් ය. වහව ප්‍රදේශයේ සිය කම්මල වෙත පැමිණෙන ප්‍රදේශයේ පාසල් සිසුන් ව්‍යාපෘති වාර්තා සකස්කිරීම සඳහා අවශ්‍ය තොරතුරු කිසිදු පැකිලීමකින් තොරව ඔහු ලබාදීම කාගෙත් පැසසුමට ලක්වන්නකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා