ඊශ්‍රාල හිටපු අගමැතිගෙන් පොලිසිය යළි ප්‍රශ්න කරයි

ඊශ්‍රාල හිටපු අගමැතිගෙන් පොලිසිය යළි ප්‍රශ්න කරයි

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ මහා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ හිටපු අගමැති එහුඩ් ඔල්මර්ට් පෙරේදා සතියකදී දෙවැනිවරටත් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්විය.

පෙරේදා ඔහුගෙන් පැය අටක් තිස්සේ ප්‍රශ්න කැර තිබුණු අතර මේ සතියේ දී යළිත් ඔහුගෙන් ප්‍රශ්න කරන බව පැවසී තිබේ.

ඉකුත් අඟහරුවාදා ද ඔහුගෙන් පැය අටක් ම ප්‍රශ්න කර තිබිණ. ටෙල්අවිව් ආසන්න ලොඩ් හි පොලිසියකදී මේ ප්‍රශ්න කිරීම් සිදුව තිබිණ. දැනටමත් ඔල්මර්ට් අල්ලස් හා වංචා පිළිබඳ නඩු විභාගයකට පෙනී සිටී.

හෝලිලන්ඩ් සංකීර්ණය නම් ජෙරුසෙලමේ නිවාස සංකීර්ණයක් ඉදි කිරීමේ දී කොන්ත්‍රාත්කරුවන්ගෙන් අල්ලස් ලබාගත් බවට ඔහුට එරෙහි ව චෝදනා එල්ල වී ඇත. මෙහි දී ඔහු ඩොලර් මිලියනයක අල්ලසක් ලබාගෙන තිබෙන බව පැවසේ. ඔහු ජෙරුසෙලමේ නගරාධිපතිධූරය උසුලද්දි 1990 ගණන්වල දී මේ වංචාව සිදු වූ බව සඳහන් ව තිබේ.

මීට අමතරව යුදෙව් අමෙරිකානු ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් දීමනා විදේශ සංචාර වියදම් ආදිය ලබාගත් බවට මෙන් ම ඥාති සංග්‍රහ ආදිය කළ බවට ද ඇති චෝදනා මත ඔහුට නඩු පැවරී ඇති අතර ඒවාට ඔහු වරදකරු වූවොත් සිරදඬුවම් නියමවනු ඇතැයි පැවසී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා