තිස් දෙනකු පණ පිටින් පිළිස්සී මිය ගිහින්

ඉන්දියාවේ රිය අනතුරු 2කින් හැටකට වැඩි පිරිසක් මරුට:

තිස් දෙනකු පණ පිටින් පිළිස්සී මිය ගිහින්

ඉන්දියාවේ හා කැමරූන්හි ඉකුත් සෙනසුරාදා ඇතිවූ බස්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 60 දෙනෙකුට වඩා මිය ගොස් තිබේ. මෙයින් ඉන්දීය අනතුරින් මිය ගිය 30 දෙනාම එම ඉරණමට ගොදුරුව ඇත්තේ පණ පිටින් පිළිස්සීමෙනි. කැමරූන් අනතුරේදී 35 දෙනකු මිය ගොස් ඇතැයි පැවසේ.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සුර්පූර්හි සිට බැංගලෝරය බලා රාත්‍රි ගමනක යෙදුණු බස් රිය අධිවේගයෙන් ගමන් කර ඇති අතර පාලමක් මත පැවැති මාර්ග බාධකයක ගැටී අගලකට පෙරළි තිබේ. ඒ හාම රථයේ ඩීසල් ටැංකිය පුපුරා බසයට ගිනි ඇවිලී තිබේ. මේ අවස්ථාවේ බසයේ මගීන් 64 දෙනකු සිට ඇත. ඔවුන්ගෙන් 30 දෙදෙනකු පිළිස්සී මිය ගොස් තිබේ. ඉන් 10 දෙනකුම ළමයින්ය. දිවි ගලවා ගත් අයගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ දිවි බේරුණු රියදුරුගේ වරදින් මේ අනතුර සිදුවණු ඇති බවය. කැමරූන් අනතුරට මුහුණ දී ඇත්තේ යාධන්දේ අග නගරයට කි. මී. 135 ක් දුර බාෆියා හි ගමන් ගත් බස් රියකි. මගීන් 70 ක් ගෙන යා හැකි රථයේ කොපමණ සංඛ්‍යාවක් සිටියේද යන්න තහවුරු වී නැත.

රියැදුරුට බසය පාලනය කර ගත නොහැකිව එය පෙරළී උඩුකුරුව ගොස් දෙකට කැඩී ඇත. අනතුරින් මිය ගිය 30 දෙනකුගේ මළ සිරුරු හඳුනාගෙන ඇතත් පොලිසිය පැමිණීමට කලින් තුවාල සහිතව ඉවත් කර තිබුණු තවත් කීප දෙනකු මිය ගොස් ඇති බවට වාර්තා වී තිබේ. 35 දෙනකු මිය ගොස් ඇති බව විද්්‍යුත් මාධ්‍යයෙන් කියැවිණ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා