‘අගතා’ චණ්ඩ මාරුතයෙන් මධ්‍ය අමෙරිකානු රටවල 90ක් ජීවිතක්ෂයට

‘අගතා’ චණ්ඩ මාරුතයෙන් මධ්‍ය අමෙරිකානු රටවල 90ක් ජීවිතක්ෂයට

මේ වසරේ මධ්‍යම අමෙරිකාවට බලපෑ පළමුවැනි නිවර්තනීය කුණාටුවට ගොදුරු වූ ගෝතමාලාවේ පාලින් නගරයේ මහමගක දසුනකි මේ. ඒ. එෆ්. පී

මධ්‍ය අමෙරිකානු රටවල නිවර්තන කුණාටු සමය අරඹමින් හටගත් පළමුවැන්න වන ‘අගතා’ චණ්ඩ මාරුතයෙන් එම රටවල 90 දෙනකු පමණ මියගොස් තිබේ. චණ්ඩ මාරුතය සමග ඇති වූ ධාරානිපාත වර්ෂාව, ජලගැලීම් හා නායයෑම් මේ මරණවලට හේතු වී තිබේ.

ගෝතමාලාව, එල්සැල්වදෝරය හොන්ඩියුරාස් හා මෙක්සිකෝ යන රටවලට ‘අගතාව‘ බලපා ඇති අතර ඉන් 74,000ක පමණ පිරිසකට උන්හිටිතැන් දමා පලායාමට සිදුව තිබේ.

ගෝතමාලාවේ පමණක් 73 දෙනකු මියගොස් ඇත. ඉන් බහුතරය මිය ගොස් ඇත්තේ නායයෑම් හේතුවෙනි. එරට ‘ප්‍රෙන්සාලිබ්රේ’ වෙබ් අඩවියට අනුව මියගිය සංඛ්‍යාව 80කි. නායයාමකින් ගසාගෙනගිය නිවහනක සිටිදරුවන් සිවුදෙනකුම මියගියවුන් අතර සිටින බව සඳහන් ය.

එල් සැල්වදෝරයේ ජලගැලීම් හා නායයාම්වලින් 9 දෙනෙකු ද හොන්ඩියුරාස්හි 8 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. හොන්ඩියුරාස්හි දිස්ත්‍රික් 18න් පහකම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට රජය පෙළඹී තිබේ.

ගෝතමාලාවට ‘අගතා’ චණ්ඩ මාරුතය කඩා වැදුණේ පැයට කි. මි. 65 ක වේගයකිනි. එල් සැල්වදෝරයට එය එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හේතු වී ඇත.

ගෝතමාලාව ද හදිසි තත්ත්ව ප්‍රකාශයට පත් කැර ඇත. හොන්ඩියුරාස්හි ඇතිව තිබෙන ආපදාවන්ට සහන සැලසීමට ආපදා කළමනාකාරිත්ව කමිටුවක් ද පිහිටුවා ඇත. ගෝතමාලාවේ චණ්ඩමාරුතය බලපෑ ප්‍රදේශවල පාසල් මේ සතිය අවසානය තෙක් වසා දමා තිබේ. එරට ඇති වූ නායයාමකින් නිවාස 25ක් ගසාගෙන ගොස් 15 දෙනකු මියගිය බව ද වාර්තාවේ. තවත් 10 දෙනකු අතුරුදන් බව ද කියැවේ.

බෝවන රෝග පැතිරීම වළකාලීමට මියගිය අයගේ මලසිරුරු වහා මිහිදන් කිරීමට ද මේ රටවල් පියවරගෙන තිබේ.

මේ අතර ගෝතමාලාවේ ‘පකායා’ ගිනිකන්ද සක්‍රීය වීමෙන් නිකුත් අළුවලා නිසා එරට ලා අයුරෝරා අන්තර් ජාතික ගුවන් තොටුපොළ වසා දමා ඇත.

ගිනිකන්ද විදාරණය වීමෙන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු අතුරුදන්ව ඇති බව ප්‍රකාශිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා