පල්ලි බෝම්බයෙන් නොසන්සුන් වූ ඊජිප්තු වැසියෝ ඇමැතිවරයකුට පහර දෙති

පල්ලි බෝම්බයෙන් නොසන්සුන් වූ ඊජිප්තු වැසියෝ ඇමැතිවරයකුට පහර දෙති

පුද්ගලයන් 21 දෙනෙකු ඝාතනය වුණු පල්ලි බෝම්බ ප්‍රහාරයෙන් පසු ආගමික නොසන්සුන්තා වර්ධනය වෙතැයි බිය පලවෙද්දී කුපිත වූ කි‍්‍රස්තියානි උද්ඝෝෂකයන් ඊජිප්තු ඇමැතිවරයකුට ගල්වලින් පහරදී ඇත.

කයිරෝවේ ශාන්ත මාක් දෙව් මැදුරට රැස්වු කොප්ටික් ක්‍රිස්තියානින් සිය ගණනක් ශෝකය ප්‍රකාශ කිරීමට එහි පැමිණි බලධාරීන්ට බාධා පමුණුවා තිබේ.

තුන්වැනි ෂෙනෝදා නම් කොප්ටික් පාප්තුමාගේ මූලස්ථානය පිහිටි මෙම දෙව්මැදුර වෙත පැමිණ ඊජිප්තු ආර්ථික සංවර්ධනය පිළිබඳ රාජ්‍ය ඇමැති ඔස්මාන් මොහොමඩ් ඔස්මාන්, පාප්තුමා හමුවීමෙන් පසුඋද්ඝෝෂකයින් විසින් සිය මෝටර් රථය දක්වාම එළවා ඇති අතර ගල්වලින් ද පහරදී ඇත. මේ අතර පල්ලි දොරටුවෙන් එළියේ සිටි පොලිස් නිලධාරීන් සමඟ තවත් පිරිසක් ගැටී තිබේ.

ගල් ගැසීමෙන් පොලිසියේ 40 ක් පමණ තුවාල ලබා ඇත. දහසකට වැඩි උද්ඝෝෂකයන් පිරිසක් පල්ලියෙන් මහමඟට පිවිස මෝටර් රථ නවත්වා ඒවාට තලමින් ගල්වලින් පවා පහරදී ඇත.

මීට කලින් පාප්තුමා බැහැ දැකීමට පැමිණි ඊජිප්තුවේ ඉහළම මුස්ලිම් පූජක අහමඩ් අල් මයේබ් ගේ රිය වටකොට ගත් ඔවුන් ඊට තඩිබා ඇත.

තවත් කොප්ටික් ක්‍රිස්තියානින් දහසක් පමණ විදේශ අමාත්‍යාංශය හා ඊට යාබද රාජ්‍ය රූපවාහිනි ගොඩනැඟිල්ල අබියස උද්ඝෝෂණ පවත්වා තිබේ. සමහරෙකු මග යනෙන වාහන වලට පහරදීමෙන් ඒවාට හානි සිදුව ඇත.

මෙය ඔවුන්ගේ උද්ඝෝෂණවල දෙවැනි දිනය විය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයට ලක්වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික් දෙව්මැදුරේ පෙරේදා දේව මෙහෙයන්ද පැවැත්විණි. බෝම්බ ප්‍රහාරයෙන් 21 දෙනකු මියගොස් තිබෙන අතර ඉන් ඇතිවූ ලේ පැල්ලම් බිත්තිවල දක්නට ලැබී තිබේ.

බෝම්බ ප්‍රහාරය පිළිබඳ වගකීම කිසිවකු බාරගෙන නැතත් මුස්ලිම් ආගම වැළඳගත් පූජක බිරින්දෑවරුන් දෙදෙනකු කොප්ටික් පල්ලියේ රඳවාගැනීමට එරෙහිව දඬුවමක් ලබා දෙන බව අල්කයිඩා සංවිධානය කලින් පවසා තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා