සහනාධාර නැව ඊජිප්තුව හරහා ගාසා තීරයට

සහනාධාර නැව ඊජිප්තුව හරහා ගාසා තීරයට

ඊශ්‍රායලයේ බාධක ඇවුරුමකට ගොදුරු වී තිබෙන ගාසා තීරයට සහනාධාර රැගෙන යන ආසියානු ක්‍රියාකාරීන්ගේ අනුග්‍රහයලත් නෞකාවක්, සිරියාවේ ලැටකියා වරායෙන් ඊජිප්තුව බලා පිටත්ව තිබෙන බව, පලස්තීන බලධාරීහු පෙරේදා ප්‍රකාශ කළහ.

මේ යාත්‍රාව සෙනසුරාදා ලැටකියා වරායෙන් පිටත්ව ඇත. ඊජිප්තු අල්-අරිෂ් වරාය වෙත එය ළඟාවීමෙන් පසු සියලු සහනාධාර භාණ්ඩ එහිදී ගොඩබා ගොඩවීම ඔස්සේ ගාසාතීරයට ගෙන යන බව පලස්තීන කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

මේ සහනාධාර කණ්ඩායමට එක්වීමට ක්‍රියාකාරීන් 112 දෙනකු ඊජිත්තුවට ළඟාවී තිබේ. ඉන්දියාව ප්‍රමුඛ කොටගත් සමාජ සේවා සංවිධාන රැසක් මේ කටයුත්ත පිටුපස සිටින බව ද සඳහන් ය. ඉරානය, ජපානය, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන ආසියානු රටවල ක්‍රියාකාරීන් ‘සලාම්’ නම් මේ යාත්‍රාවේ සිටින බව පැවසේ. මේ යාත්‍රාව මහසයුරේ ගමන් ඇරඹි තැන් පටන් ඊශ්‍රායලය කැළඹී ඇතැයිද සංවිධායකයෝ කියති. දැනටමත් නැවේ කපිතාන්වරයාගෙන් නැවේ ඇති බඩු භාණ්ඩ පිළිබඳව ඊශ්‍රායල් නිලධාරීන් ප්‍රශ්න කර ඇත.

නැවේ ගමන්ගන්නා ක්‍රියාකාරින් සමහරකගෙන් ද ප්‍රශ්න කැර තිබේ.

මේ යාත්‍රාව පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ඊශ්‍රායලය කියා තිබේ. මේ යාත්‍රාවේ ඩොලර් මිලියනයක ඖෂධ ආහාර ද්‍රව්‍ය හා සෙල්ලම් බඩු තිබෙන බව සඳහන් ය. ඒ සමඟම බස් රථ 4ක් හා රෝහල් සඳහා විදුලි ජනන යන්ත්‍ර 10 ක් ද පවත්නා බව කියා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා