‘අපි ලෝක කුසලානය රැගෙන යනවා’


කොදෙව් ක්‍රිකට් අභ්‍යන්තර ආරවුල් විසඳාගෙන අවසන්

‘අපි ලෝක කුසලානය රැගෙන යනවා’

- ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලේ අභ්‍යන්තර ආරවුල් විසදාගෙන නිරවුල් මනසකින් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ සටනට තම කණ්ඩායම පිවිස ඇතැයි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් පවසයි. ක්‍රිකට් ලෝක කුසලානය කැරිබියන් දූපතට ගෙනෙනතුරු තම රටේ ක්‍රීඩා ලෝලීන් මහත් බලාපොරොත්තු තබා ඇති හෙයින් එය ඉටු කිරීම වගකීමක් සේ සලකා ක්‍රියා කරන බව ද ගේල් සඳහන් කෙළේ ය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් සුපිරි පිතිකරුවා මේ බව පැවැසීය. 2007 දී සිටම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් හා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර මුදල් ගිවිසුම් පිළිබඳ ප්‍රශ්න හටගත්තේ ය. වරෙක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර තරග වර්ජනයක ද නිරත වූහ. ඒ වන විට කොදෙව් ක්‍රිකට් නායකයා වූ ක්‍රිස් ගේල්ට පසුව තනතුරද අහිමි වී ගියේ ය. වත්මන් කොදෙව් ක්‍රිකට් නායක සැරත් සැමී ඇතුළු නවක ක්‍රීඩකයන් රැසකට ජගත් ක්‍රිකට් බිමට පිවිසීමට දොරටු විවර වූයේ ප්‍රබල ක්‍රීඩකයන් තරග වර්ජනයක නිරතව සිටියදී ය.

ගේල්

සැමී

“පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී අපි අර්ධ අවසන් පුර්ව වටයට පැමිණියා. අපේ රටේ දී ම පැවැති ඒ තරගාවලිය අපට අමිහිරි අත්දැකීමක් වුණේ තරග 5ක්ම පරාජය වූ නිසයි.  කොදෙව් ක්‍රිකට් ඉතිහාසය බැබළ වූ බ්‍රයන් ලාරාට ක්‍රිකට්වලින් ඉවත් වෙන්න වුණෙත් ඒ පසු බැසීම දරාගත නොහැකිව යි. මෙවර තරගාවලියේ දී ස්ථිර අධිෂ්ඨානයටකින් ඉන්නවා. පුගිය වාරයේ සිදු වූ සියලු වැරැදි අපි මකාගත යුතුයි” ගේල් පැවැසීය.

“කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ ජය පිට ජය වාර්තා වුණා. ඒ ජයග්‍රාහී ඉතිහාසය නැවැත ආරම්භ කරන්න අපේ සැලැසුමයි” ගේල් අවධාරණය කෙළේ ය. බටහිර ඉන්දීය කොදෙව් පිල 1975 දී හා 1979 දී ලෝක සූරතාව දිනා ගත්තේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය පරාජයට පත් කරමිනි. එහෙත් වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් පිල එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 9 වැනි ස්ථානයේ පසු වේ. එය බංග්ලාදේශයටත් වඩා පසු බෑමක් බවට පත්වීම විශේෂත්වයකි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් පිල මේ 24 දා නවදිල්ලි නුවරදී දකුණු අප්‍රිකාව සමඟ මුල්ම තරගයට එක් වේ. අනතුරුව නෙදර්ලන්තය, බංග්ලාදේශය, අයර්ලන්තය, එංගලන්තය හා ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය. මෙයින් කණ්ඩායම් 4ක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසේ. “අපගේ එකම බලාපොරොත්තුව අර්ධ අවසන් පුර්ව පිවිසීමයි.  ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩකයන් එකම හැඟීමෙන් ජයග්‍රහණය සොයා යෑම අධිෂ්ඨානයයි. ශ්‍රි ලංකාව සමඟ එක්දින තරගාවලියේ ලද පරාජය අමතක කරලා ඉවරයි. දැන් අපේ ඉලක්කය ලෝක කුසලාන තරගා දිනීමයි.” කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සැමී පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා