වෝන්ගේ වීර ක්‍රියාවෙන් ඔස්ට්‍රේලියාවට ජය


1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ’සුපර් සික්ස්’ නමින් නව සංකල්පයක් එයි

වෝන්ගේ වීර ක්‍රියාවෙන් ඔස්ට්‍රේලියාවට ජය

7 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වූ 1999 තරගාවලියේ ප්‍රධාන සත්කාරකත්වය දැරුවේ එංගලන්තය වුවද අයර්ලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා නෙදර්ලන්තයද සමහර තරග සඳහා සත්කාරකත්වය දැරූහ. ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය කඩුලු 8කින් පරදවමින් ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා ගත්තේය. නවසිලන්තය හා දකුණු අපි‍්‍රකාව අවසන් පූර්ව වටයට පිවිසි අනෙක් කණ්ඩායම් වූහ.

කණ්ඩායම් 12ක් කොටස් දෙකකට බෙදා එම කොටසේ හැම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම සමඟ ලීග් වටයේ තරග වැදීම මේ තරගාවලියේ ක්‍රමවේදය විය. ඒ ඒ කොටසේ ඉහළටම පිවිසෙන කණ්ඩායම් 3 ‘සුපර් සික්ස්’ වටයට පිවිසියහ. මෙය මේ ලෝක කුසලාන තරගාවලියට ගෙන ආ අළුත් සංකල්පයක් විය. ‘සුපර් සික්ස්’ වටයේ දී ‘ඒ’ කොටසේ සෑම සුදුසුකම්ලාභියකුම ‘බී’ කොටසේ සෑම සුදුසුකම්ලාභියකු සමඟම තරග කළහ. ‘සුපර් සික්ස්’ වටයේ ඉහළටම පිවිසෙන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසියහ.

අවසාන තරගය

අවසාන තරගය එක් පැත්තක තරගයක් පමණක් බවට පත් වෙමින් ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ පාකිස්තානය ඕවර 39ක් ඇතුළත ලකුණු 132කට දවාලූවේය. අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුනු ෂේන් වෝන් ඕවර් 9ක් පමණක් යවමින් ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙලුවේය. පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ඉලක්කයට පිවිසියේ ඕවර 20.1ක වේගයකිනි. ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 36කින් ලකුණු 54ක් වාර්තා කළේය. ෂේන් වෝන් පන්දුවෙන් දැක්වූ වීර ක්‍රියා මත ඔහු ‘තරගයේ විරයා’ ලෙස නම් කෙරිණි.

අවසන් පූර්ව වටය

ඊට කලින්, අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රේලියාවට අසීරු කඩුල්ලක් පැනීමට සිදු විය. ඒ, බර්මිංහැම්හිදී ඔවුනට දකුණු අපි‍්‍රකාව සමඟ සම තත්ත්වයෙන් තරගය අවසන් කිරීමට සිදු වීමය.  කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ප්‍රතිවාදීන්ට එරෙහිව ඔවුනට සුපිරි ලකුණු ලබා ගැනීමේ වේගයක් තිබීම ඊට හේතුවයි. වේග පන්දු යවන ෂෝන් පොලොක් කඩුලු 5ක් බිඳ හෙලීම මත ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ෙට්‍රේලියාව ඕවර 49.2කදී ලකුණු 213කට කොටු විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් මයිකල් බෙවන් ලකුණු 65ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, අවසාන තරගයට පිවිසීමට තිබූ සුවිශේෂ අවස්ථාවක් දකුණු අපි‍්‍රකාව ඉවතට වීසි කර දැමුවේය. ඔවුහු තරගයේ තවත් පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු 213කට දැවී ගියහ. පා දඟ පන්දු යවන ෂේන් වෝන් ඔස්ට්‍රේලියාවට තරගයේ ජය ගෙන දුන් ක්‍රීඩකයා විය. වෝන් ඔහුට සිමිත ඕවර 10 තුළ ලකුණු 29කට කඩුලු 4ක් වාර්තා කළේය.  ‘තරගයේ වීරයා’ ලෙසද ඔහු නම් කෙරිණි. මීට හාත්පසින්ම වෙනස් ලෙසින් පාකිස්තානය ඉතාම ලෙහෙසියෙන් අවසන් තරගයට පිවිසියේය. ඒ, ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී නවසීලන්තය කඩුලු 9කින් පරදවමිණි.

නවසීලන්තය ඕවර 50කදී කඩුලු 7කට ලකුණු 241කට සීමා කරමින් වේග පන්දු යවන ෂොයිබ් අක්තාර් ලකුණු 55කට කඩුලු 3ක් බිඳ හෙලුවේය.  අනතුරුව පාකිස්ථානය ආරම්භක පිතිකරු සයීඩ් අන්වර්ගේ නොදැවුනු ශතකය වටා රොද බැඳ ගනිමින් ආඩම්බරයෙන් යුතුව තරගයේ තවත් ඕවර දෙකක් හා කඩුලු 9ක් ඉතිරිව තිබිය දී ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වූහ. අක්තාර් ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරිණි. ‘සුපර් සික්ස්’ වටය අවසානයේ පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා දකුණු අපි‍්‍රකාව යන සියළු කණ්ඩායම් ජයග්‍රහණ තුනක් සමඟින් එකම ලකුණු ප්‍රමාණය මත ලකුණු හයක් ලබා ගෙන සිටි අතර නවසීලන්තය ඔවුන්ගේ තරග පහෙන් ලකුණු පහක් ලබාගෙන සිටියේය.

‘සුපර් සික්ස්’ වටයට පිවිසු විස්මිත කණ්ඩායම වූ සිම්බාබ්වේ ඔවුන්ගේ තරග පහෙන් ලකුණු පහක් එකතු කර ගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර ගත්තේ ඉතාමත් සියුම් අයුරිණි. ඔවුන් ඉන්දියාව සමඟ පැවති ‘ඒ’ කොටසේ තියුණු තරගයේ දී ලකුණු තුනක ජයග්‍රහණයක් වාර්තා කළේය.  සිම්බාබ්වේ ලබා ගත් 252ක මුළු ලකුණු සංඛ්‍යාව හඹා ගිය ඉන්දියානු පිල ඕවර 45ක් ඇතුළත ලකුණු 249කට දවාලනු ලැබීය. සිම්බාබ්වේ පිල තවත් ප්‍රධාන පෙරැලියක් මේ තරගාවලියේ දී සිදු කළේ ‘ඒ’ කොටසේ පැවැති තවත් තරගයක දී දකුණු අපි‍්‍රකාව ලකුණු 48කින් පරාජය කරමිණි.

ෂේන් වෝන්ට සුභපැතුම්

පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ඔවුන්ගේ ඕවර 50දී කඩුලු හයට ලකුණු 233ක් ලබා ගත් අතර ‘තරගයේ වීරයා’ වූ නීල් ජොන්සන් පන්දු 117කින් අගනා ලකුණු 76ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අපි‍්‍රකාව ලකුණු 185කට දවාලනු ලැබීය. තමන්ට අමතක නොවන තරගයක් සම්පූර්ණ කරමින් ජොන්සන් ලකුණු 27කට කඩුලු 3ක් බිඳ හෙලුවේය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ලාන්ස් ක්ලූස්නර් දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් නිරපරාදේ උත්සාහයක යෙදෙමින් නොදැවී අර්ධ ශතකයක් රැස් කළේය. අවසානයේ ක්ලූස්නර් ‘තරගාවලියේ වීරයා’ බවටද පත් විය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව

මේ අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක් පමණක් වාර්තා කරමින් ‘ඒ’ කොටසේ කණ්ඩායම් හයෙන් පස්වැනියට තරගාවලිය අවසන් කළේය. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයන් වූයේ සිම්බාබ්වේ හා කෙන්යාවට එරෙහිවය. වේග පන්දු යවන ප්‍රමෝදය වික්‍රමසිංහ ඕවර 10කදී ලකුණු 30කට කඩුලු 3ක් බිඳ හෙලීම මත ඕවර 50ක් ඇතුළත කඩුලු 9කට ලකුණු 197කට සිය ප්‍රතිවාදීන් කොටු කළ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ අභිබවා කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළේය. සිම්බාබ්බේ ඉනිමට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව තරගයේ තවත් ඕවර හතරක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය සම්පූර්ණ කර ගත්තේය. ආරම්භක පිතිකරු මාවන් අතපත්තු වටිනා අර්ධ ශතකයක් ලබා ගනිමින් ‘තරගයේ වීරයා’ සම්මානය දිනා ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා