නවගමුව අඳුදොළ කන්දේ කළුගල් කැඩීම නවත්වන්නැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක

නවගමුව අඳුදොළ කන්දේ කළුගල් කැඩීම නවත්වන්නැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක

නවගමුව දකුණ, අඳුදොළ කන්දේ සිදුවන මහා පරිමාණ කළුගල් කැඩීමේ ව්‍යාපාරය නතර කරන ලෙස ඉල්ලා නවගමුව දකුණ, වඳුරම්මුල්ල මාර්ගය අවහිර කරමින්, ගම්වාසීහු උද්ඝෝෂණයක නිරත වී සිටියහ.මේ කළුගල් කැඩීමේ ව්‍යාපාරය වසර ගණනාවක සිට සිදුකරන ලද්දක් වන අතර පසුගිය වසර 2 1/2ක පමණ කාලයක සිට මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවත් මිනිස් ජීවිත, දේපළ හා ස්වාභාවික පරිසරය වැනසී යන බැවින්, ඉදිරියටත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට ඉඩදිය නොහැකි බවත් ගම්වාසීහු අවධාරණය කරති.

අඳුදොල කන්ද විනාශය නවත්වන ලෙස ඉල්ලා පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවන ස්ථානය.
ජායාරූප - කඩුවෙල සමූහ

රිල් පෙරේරා (ගම්වැසියෙක්) - අපේ ගම පුංචි ගම්මානයක්. වසර ගණනකට කලින් ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු ගමක්ව තිබුණා. එන්න එන්නම මේ පරිසරය විනාශවෙලා නැත්තට නැතුව ගිහින් ගම අක්කර 305කට වැඩිය විශාල ප්‍රදේශයක්. අඳුදොළ කන්ද තියෙන්නෙ මේ ගම්මානයම වට කරගෙන. කන්ද වටේට ගෙවල් 700 ක් විතර තියෙනවා. මේ කන්ද ‘ඒ’ ශ්‍රේණියේ ගල්වළක් හැටියට බලපත්‍ර ලබාගෙන මහා පරිමාණයෙන් ගල් කඩනවා. භූගර්භ හා පතල් කැනීම් කාර්යාංශය, පරිසර අධිකාරියට මේ ගැන පැමිණිලි කළා. නවගමුව පොලිසියට විතරක් පැමිණිලි 66 ක් කරල තියෙනවා. පසුගිය කාලෙ අපි මේ ව්‍යාපාරිකයා සමඟ නඩු කිව්වා.

තක්ෂිලා නාමලී (මවක්) - අවුරුදු ගණනක් ඉඳල මේ කළුගල් කැඩීම සිදු කරන්නෙ. පසුගිය කාලෙ මේ කන්ද රක්ෂිතයක් බවට පත්කළා. නමුත් නැවත කිසිම තහනමක් නැතුව ගල් කඩනවා. ව්‍යාපාරිකයො දෙගොල්ලක් හා ඔවුන්ගෙ සහෝදරයො තමයි මේ ව්‍යාපාරයෙ අයිතිකරුවො.

අසිත නිරෝෂණ (හිටපු ප්‍රා. සභා මන්ත්‍රී) - කොරතොට කඳුවැටියෙ ප්‍රධාන කන්දක් අඳුදොළ කන්ද. අඩි 30 ක් 35 ක් ගැඹුරට බෝර ගහලා ගල් කඩන්නෙ මේ ගල් ගෙනයන්නෙ වරායෙ ජැටිය හදන්න. අධිබල බෝර පිපිරවීම නිසා ගෙවල් ඉරිතලලා, ගිලාබහින මට්ටමට ඇවිත්. වතුර බොන ළිං 40 ට අධික ප්‍රමාණයකට ඇමෝනියා මිශ්‍රවෙලා. ඊට අමතර ගල්කුඩු දූවිල්ලෙන් ගමම වැහිලා. ළමයි ලෙඩ වෙලා. කළුගල් විසිවෙලා ගෙවල්වල වහල කැඩිලා. මේ විනාශය තවදුරටත් සිදුවිය යුතු නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා