මාඔය හරහා ඉදිකළ සංගිලි පාලමේ ගමන අවදානම්

මාඔය හරහා ඉදිකළ සංගිලි පාලමේ ගමන අවදානම්

* කම්බි දිරලා

* ලෑලි ගැලවිලා

* නව පාලමට තැබූ මුල්ගලත් පැළවෙලා

අරණායක නිකිනියානේ සංගිලි පාලමට සමගාමීව, දැනට වසර 200කට පමණ පෙර මා ඔය හරහා ඉදිකළ සංගිලි පාලමේ කම්බි හා ලෑලිත් දිරිපත් වීමෙන් එහි ගමන් කිරීමට අපහසු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයත් අරණායක මැතිවරණ කොට්ඨාසයත් වෙන් කෙරෙන සීමාවද මෙය වේ. මෙම සංගිලිපාලමෙන් ගම් 128කට අධික ජනතාවක් ගමන් කරති.

අබලන් වී ඇති සංගිලි පාලම

මාවනැල්ල සහ අරණායක ප්‍රධාන මාර්ගයේ පොල්අඹේගොඩ – නිකපිටිය මාර්ගයෙන් වේරගොඩ හරහා මාවනැල්ල - හෙම්මාතගම – ගම්පොළ - නාවලපිටිය – මහනුවර ආදී ප්‍රදේශ රැසකට යාමට ඇති කෙටි මාර්ගය ද මෙය වෙයි. මෙම සංගිලිපාලම දිගින් අඩි 800කටත් වඩා වැඩිය. මෙම පාලමේ කම්බි හා ලෑලි කඩා වැටීමෙන් අනතුරු කීපයක් ද මේ වන විට සිදුවී තිබේ. ඉතා කඩිනමින් මෙම සංගිලිපාලම නිසිලෙස තනා දෙන්නැයි ජනතාව නිරතුරුව ඉල්ලා සිටිති.

මේ පිළිබඳ අදහස් දැක්වූ පොල්අඹේගොඩ – මියනපලාවේ, එම්. ඩබ්ලිව්. ඒ. මියනපලාව මහතා අපි උපන්දා සිට මේ මාඔය හරහා තිබෙන පැරණි පාලම හදලා දෙන්න කියා කිව්වත් වැඩක් නෑ. පාසල් යන දරුවන් අපිට පාලමෙන් උදේ සවස එගොඩ කරන්නට සිදුවෙලා. මෙය ඉක්මනට හදා දෙන්න කියා අපි ඉල්ලනවා.

නව පාලමක් තැනීමට තැබූ මුල්ගල

අරණායක ප්‍රාදේශීය සභාවේ විශ්‍රාමික ලේකම් නිකපිටිය ග්‍රා. ස. සමිතියේ ලේකම් යූ. ජී. විමලසේන මහතා මෙම පාලමේ අවශ්‍යතාව ඉටුකිරීම සඳහා පළාත් සභා ආධාර යටතේ රු. කෝටි 9ක කොන්ක්‍රීට් පාලමක් ඉදිකරන්න මුල්ගල තැබුවත් එය වැඩක් වුණේ නෑ. අදාල බලධාරින්ට කිව්වත් පලක් නෑ.

හත්ගම්පල විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති යූ. ජී. කරුණාතිලක මහතා මේ සංගිලිපාලම කොයිවෙලේ කඩා වැටෙයි ද කියන්න බෑ. යකඩ කණුවල මුල දිරලා. කම්බි දිරලා තැනින් තැන ලෑලි කඩා වැටිලා මේ අනතුරක් වෙන්න කලින්මෙය තනා දෙන්න කියා මම ඉල්ලනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා