ඉදිරි තරග ජය ගැනීම වැදගත්

ඉදිරි තරග ජය ගැනීම වැදගත්

අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉදිරියේදී මුහුණ දෙන සෑම තරගයක්ම ජයගත යුතු බැවින් සිම්බාබ්වේ පිල සමඟ පැවැත්වෙන තරගයක් අතිශය වැදගත් තරගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව මීට පෙර ලෝක කුසලාන තරගවලදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග වැදුණු තරග 4ක්ම ජය අත්කර ගැනීමට සමත් විය. නමුත් හෙට (10) පැවැත්වෙන තරගයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වුවහොත් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුවනු ඇත.

“ක්‍රිකට් ක්‍රීඩාවේදී හැමදාම බැබලෙන්නට බෑ. ඕනෑම තරගයකදී ඇතැම් ක්‍රීඩකයන් බැබලෙනවා. තවත් ක්‍රීඩකයන් පිරිසක් අසාර්ථක වෙනවා. ක්‍රීඩාවේ ස්වභාවය එයයි.” සංගක්කාර සඳහන් කළේය. සිය කණ්ඩායමට ලැබී තිබෙන ලෝක කුසලාන තරග කාල සටහන පිළිබඳව විමතියට පත් වුවද නවසීලන්තය සමඟ ඉන්දියාවේදී තරග වැදීමට සිදුවීම ප්‍රශ්නයක් නොවන බව හෙතෙම පැවැසීය. “ඔබේ පාලනයෙන් පිටත තිබෙන දේවල් වෙනස් කරන්න ඔබට බැහැ. සත්කාරක රටක් වෙලත් අපිට එක තරගයක් රටින් පිට ක්‍රීඩා කිරීමට සිදුවීම විමතියට කරුණක්. සාමාන්‍යයෙන් සත්කාරක රටකට තරග වදින්නට සිදුවන්නේ ඔවුන්ගේම රටේදීයි.” සංගක්කාර ප්‍රකාශ කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා