පොලිස් ක්‍රීඩා සමාජයෙන් සමාව ගන්නා ලෙස පාපන්දු සම්මේලනයට ඇමැතිගෙන් නියෝගයක්

පොලිස් ක්‍රීඩා සමාජයෙන් සමාව ගන්නා ලෙස
පාපන්දු සම්මේලනයට ඇමැතිගෙන් නියෝගයක්

චැම්පියන් ලීග් තරගාවලියේ ප්‍රතිඵල වෙනස් නොකරයි

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී පොලිස් ක්‍රීඩා සමාජයට සිදුවූ අසාධාරණය පිළිබඳව ලිඛිතව සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඊයේ නියෝග කළේය. පොලිස් ක්‍රීඩා සමාජයෙන් සමාව ඉල්ලා යවන ලිපියේ පිටපතක් ක්‍රීඩා ඇමැතිවරයා වෙත එවන ලෙසද ලිඛිතව දන්වා ඇත. අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ දී සිදුවූ අසාධාරණකම් කිහිපයක් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගෙන් ඉල්ලා සිටි අතර ඇමැතිවරයා පරීක්ෂණය මෙහෙයවීමට පංච පුද්ගල පරීක්ෂණ කමිටුවක් නම් කළේය.

එම පරීක්ෂණ කමිටුව මගින් 100කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ක්‍රීඩා ඇමැතිවරයාට වාර්තාවක් ලබාදී තිබුණි. එම වාර්තාව මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ දුර්වලතා හා ජාත්‍යන්තර නීතිරීති නිසි පරිදි ක්‍රියාත්මක නොකර තරගාවලිය පැවැත්වීම පිළිබඳ කරුණු අනාවරණය කර තිබුණි.  ක්‍රීඩා පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දන්වා ඇත්තේ පරිනත විනිසුරුවන් හා තරග කොමසාරිස්වරුන් පත් නොකිරීමෙන් පොලිස් ක්‍රීඩා සමාජයට අසාධාරණයක් කර ඇති බවය.

කළුතර පාක් හා වෙන්නප්පුව නිව්යංග්ස් සමග පොලිස් ක්‍රීඩා සමාජය පැවැත්වූ තරගවල ජයග්‍රහණ පොලිස් ක්‍රීඩා සමාජයට හිමිකළ යුතු වුවද පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය ගැන සලකා බලා ප්‍රතිඵල වෙනස් නොකිරීමට තීරණය කර ඇතැයි දන්වා ඇත. පොලිස් ක්‍රීඩා සමාජයේ විරෝධතාව අනුව ගුවන් හමුදාව සමග තරගයේ දී තරග නීතිරීති උල්ලංඝණයවී නොමැති බවද දැනුම් දී තිබේ. එහෙත් පොදුවේ ගත් කළ තරග සියල්ලෙන්ම පැහැදිලිවන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශාල දුර්වලතාවත්, තාක්ෂණික කමිටු නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය, අකාර්යක්ෂමතාව හා අත්තනෝමතික ක්‍රියා කළාප හේතුවෙන් බව පාපන්දු සම්මේලනයට දන්වා ඇත.

ඉදිරි කාලයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන සෑම තරගාවලියක්ම ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව කිසිදු කණ්ඩායමකට අසාධාරණයක් නොවන සේ පැවැත්විය යුතු බවට ක්‍රීඩා ඇමැතිවරයා තරයේ අවවාද කොට තිබේ. එමෙන්ම ඉදිරියේදී මෙවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට එරෙහිව දැඩි විනයානුකූ®ල පියවර ගන්නා බවද ක්‍රීඩා ඇමැතිවරයා අනතුරු අඟවා ඇත. චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ සූරතාව මීගමුව දොන් බොස්කෝ පිල හිමිකරගත් අතර අනුසූරයන් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය නම්කර තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා