ජාතික රට හරහා දිවීමේ කාන්තා රන් කිරුළ මධ්‍යම පළාතෙන් ගිලිහෙයි

ජාතික රට හරහා දිවීමේ කාන්තා රන් කිරුළ මධ්‍යම පළාතෙන් ගිලිහෙයි

වසර 10කට වඩා වැඩි කාලයක් ජාතික රට හරහා දිවීමේ කාන්තා රන් පදක්කම රැක ගෙන සිටි මධ්‍යම පළාතට මෙවර එම කිරුළ අහිමිවී ගියේ ය. එයට ප්‍රධානතම හේතුව වූයේ පසුගිය වසර 6 කදීම පිට පිටම රන් පදක්කම දිනාගත් මධ්‍යම පළාත් ක්‍රීඩිකා ගීතානි රාජසේකර මෙවර එම පළාතෙන් අතිරේක ක්‍රීඩිකාවක් ලෙස නම්කර තිබීමයි. රට හරහා දිවීමේ තරගය පෙරේදා රාජගිරිය වෝටර්ස් ඒජ් මාර්ගයේදී පැවැත්විණි. අවසන් මොහොතේ ඇය තරගයට විවෘත අංශයෙන් ඉදිරිපත්වී විනාඩි 29.47 කින් ප්‍රථම ස්ථානයට තරගය නිමකළද නිල ප්‍රතිඵල අනුව ඇයට රන් පදක්කම හා ජාතික මහා ක්‍රීඩා උළෙලේ සහතිකයද මෙවර අහිමිවී ගියාය. ඇය 2006 හා 2008 වසරවලදී ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම මද දුර දිවීමේ ක්‍රීඩිකාවද වූවාය.

ජාතික රට හරහා දිවීමේ තරගයේ ගීතානි රාජසේකර (කළු) ඉදිරියෙන්.
ඡායාරූපය - නිරංජන් කොන්තසිංහ

ගීතානි රාජසේකර තරගයට කෙළින්ම ඉදිරිපත් නොකර අතිරේක ක්‍රීඩිකාවක් ලෙස තරගයට ඉදිරිපත් කළේ ඇය මධ්‍යම පළාතේ පදිංචිවී නොසිටීම හේතුවෙන් යැයි මධ්‍යම පළාතේ ක්‍රීඩා නිලධාරියකු අප කළ විමසුමකදී පැවැසීය. නවතම චක්‍රලේඛයක් අනුව වසර 3 ක ස්ථිර පදිංචිය පළාත නියෝජනය කරන සෑම ක්‍රීඩික ක්‍රීඩිකාවකට අවශ්‍ය බව ඔහු පැවසීය.  මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියෙකු පැවැසූ පරිදි එම පළාතෙන් තරගයට ඉදිරිපත්වීමට තමන් අපේක්‍ෂාවෙන් සිටි බව ගීතානි රාජසේකර ‘දිනමිණ” ට පැවැසුවාය. තරගයට ඉදිරිපත්වීමට කළින් මධ්‍යම පළාතෙන් තමන්ගේ නම කැපී ඇති බව දැක පුදුමයට පත්වූ බව ඇය සඳහන් කළාය.

කාන්තා - 1. ශානිකා සමන්මලී වි... 29.47 (වයඹ),2. ඩබ්ලිව්. කේ. එල්. වි.30.10 (දකුණ) 3. බී. ජී. එල්. අනුරාධී වි. 30.18 (මධ්‍යම), 4. දීපිකා රත්නමාලි වි. 31.34 (ඌව) 5. දුෂාන්ති වික්‍රමසිංහ වි. 31.43 (වයඹ) 6. පී. එම්. පෙරේරා වි. 32.00 (බස්නාහිර) 7. ගයානි දර්ශිකා වි. 32.08 (සබරගමුව) 8. දිස්නා මල්කාන්ති වි. 32.30 (වයඹ) 9. මංගලා පි‍්‍රයදර්ශනී වි. 32.42 (ඌව) 10. වන්දනා ශ්‍රී මාලි වි. 32.46 (වයඹ)

පිරිමි – 1. සමන් කුමාර වි.38.26 (ඌව), 2. ආර්. එම්. එස්. පුෂ්පකුමාර වි. 38.52 (බස්නාහිර) 3. උපුල් විජිත කුමාර වි. 38.55 (දකුණ) 4. කේ. කේ. සම්පත් වි. 39.42 (බස්නාහිර) 5. චමිල නිෂාන් වි. 39.49 (දකුණ) 6. සුජීව චන්ද්‍රපාල වි. 39.54 (මධ්‍යම) 7. සුජිත් කුමාර වි. 39.59 (මධ්‍යම) 8. කේ. කේ. වීරසිංහ වි. 40.00 (සබරගමුව) 9. නිශ්ශංක කුමාර වි. 40.07 (මධ්‍යම) 10. පී. ඒ. දිනුරංග වි. 41.17 (නැගෙනහිර)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා