ශ්‍රී ලංකා රගර් සංගමයේ පූර්ණ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා රගර් සංගමයේ පූර්ණ සාමාජිකත්වය අත්හිටුවයි

ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩලයේ (IRB) ව්‍යවස්ථාවට අනුව පසුගිය ජනවාරි මස 31 දිනට ප්‍රථම ශ්‍රී ලංකා රගර් සංගමයේ නිලවරණය නොපැවැත්වූ බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රගර් සංගමයේ පූර්ණ සාමාජිකත්වය අත්හිටවූ බව ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේය. සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව අදාල කාලසීමාව තුළදී නිලවරණය නොපැවැත්වීම පිළිබඳව විස්තරාත්මක නිරීක්‍ෂණයකින් අනතුරුව ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩල කවුන්සිලය මේ තීරණයට එළැඹි බව එහි වැඩිදුරටත් සඳහන් වීය.

මේ අනුව ශ්‍රී ලංකා රගර් සංගමය ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩලයේ හවුල්කාර සාමාජිකයකුගේ (Associate member) තත්ත්වයට පත්වී තිබෙන අතර, ඉදිරියේදී රගර් සංගමයේ නිලවරණයේ සාර්ථකත්වය අනුව අපේ‍්‍රල් මස 1දා මේ පිළිබඳව වැඩිදුර නිරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන බැව් එම වෙබ් අඩවියේ සඳහන් විය.  මේ පිළිබඳව ශ්‍රී ලංකා රගර් සංගමයේ විධායක අධ්‍යක්‍ෂ රොහාන් ගුණරත්න මහතාගෙන් දිනමිණ කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩලයට වැරැදීමක් සිදුවී ඇති බවය. “අපේ ව්‍යවස්ථාව අනුව අපට නිලවරණය පැවැත්විය යුතු අවසන් දිනය වන්නේ පෙබරවාරි 28 වැනිදායි.

අනික අපේ රටේ ක්‍රීඩා පනතට අනුව මෙරට සෑම ක්‍රීඩා සංගමයකම නිලවරණය මාර්තු 31 වැනිදාට පෙරය නිමාකළ යුතු වන්නේ. දෙසැම්බර් 31දා අවසන් වන මූල්‍ය ගනුදෙනු සළකා බලන වසර (Financial Year) නිමාවට පත්වීමෙන් පසු මාස 3ක් ඇතුළත නිලවරණය පවත්වන්න පුළුවනි.” ගුණරත්න මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩලය වෙත අභියාචනාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා පැවැසීය. පූර්ණ සාමාජිකත්වය අත්හිටවුවද කලාපීය සංගම්වල නීතිරීතිවලට අනුව ආසියානු රගර් සංගමයේ තරගාවලි සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට සුදුසුකම් ඇති බව ජාත්‍යන්තර රගර් පාලක මණ්ඩල වෙබ් අඩවිය සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා