පෞද්ගලික සරසවි ඇරඹීම රජයේ ප්‍රතිපත්තියක්

පෞද්ගලික සරසවි ඇරඹීම රජයේ ප්‍රතිපත්තියක්

* ප්‍රමිතීන් ගැන පූර්ණ අධ්‍යයනයක් කළා

* නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්නේ නෑ

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම රජයේ ප්‍රතිපත්තියක් බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. මේ නිසා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පමණක් නොව තවත් එවැනි වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඉදිරියේ දී ආරම්භ කරන බව දිසානායක මහතා ප්‍රකාශ කළේය. මාලඹේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබා දී ඇත්තේ එම ආයතනය පිළිබඳ ව සියලු ප්‍රමිතීන් බලා සම්පූර්ණ අධ්‍යයනයකින් පසුව බව පැවසූ ඇමැතිවරයා කරුණු වරදවා වටහා ගනිමින් වර්ජනයකට සූදානම් වී රෝගීන්ගෙන් පළි නොගන්නැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කළේය.

රජය කිසිම දිනක නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන බවත් මේ රටේ දරුවන්ට අසාධාරණයක් නොකරන බවත් අවධාරණය කළ ඇමැතිවරයා මෙවැනි විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් දශමෙන් දෙකෙන් අහිමි වන සිසුන් හා දුප්පත් සිසුන් වෙනුවෙන් බවත් ප්‍රකාශ කළේය. හෙතෙම මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා ප්‍රකාශ කළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි පිරිනැමීමේ අයිතිය ඉල්ලා සිටි අවස්ථාවේ සිට සමීක්ෂණ කණ්ඩායම් ගණනාවක් හා වෛද්‍ය සභාවේ කණ්ඩායමක් විසින් මේ විද්‍යාලය පිළිබඳ පරීක්ෂණ කර වාර්තා කිහිපයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලබා දුන් බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා