ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ළඟදීම පාර්ලිමේන්තුවට

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ළඟදීම පාර්ලිමේන්තුවට

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පත අනුමැතිය සඳහා ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. සකස්කොට අවසන් කර ඇති එම කෙටුම්පත මාස හතරකින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමට පසුබිම් වූ හේතු පැහැදිලි කරන ඇමැතිවරයා ඖෂධ වර්ග දස දහසක් ශ්‍රී ලංකාවේ භාවිත වන බව කීය.

ඒවා විවිධ වෙළඳ නාම 40,000ක් යටතේ ලියාපදිංචි කර තිබේ. ඇතැම් ඖෂධ වර්ග වෙළඳ නාම 25 කින් 30 කින් පමණ වෙළෙඳ පොළට ඉදිරිපත් වේ. මෙරට භාවිතය සඳහා ඖෂධ වර්ග 3000ක් හොඳටම ප්‍රමාණවත් බව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබියදී විවිධ වෙළඳ නාම යටතේ මෙතරම් ඖෂධ වෙළෙඳ පොළට පැමිණෙන්නේ ඇයි දැයි ඇමැතිවරයා ප්‍රශ්න කරයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් අත්‍යවශ්‍ය ඖෂධ වලට පමණක් ප්‍රමුඛත්වය ලබා දීමට ඇමැතිවරයා බලාපොරොත්තු වේ. එසේ නොවන ඖෂධ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට පියවර ගනු ඇත.

මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මඟින් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේ ය. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා සෑම පාර්ශ්වයකම සහයෝගය අපේක්‍ෂා කරන බවද, ඒ සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසීය.

විදේශවලින් ඖෂධ ගෙන්වන විට එකම සමාගමේ නියෝජිතයන් හතර පස්දෙනෙක් ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන බවත්, ඇතැම් සමාගම් ටෙන්ඩර් මණ්ඩලවල සිටින යම් යම් පුද්ගලයන් අල්ලාගෙන වෙනත් සමාගම්වලට එන්නට ඉඩ නොදී ඖෂධ සැපැයීම තමන්ම කරගෙන යාම සාධාරණ නොමැති බවත්, ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය ලෙස සියලු දෙනා පිළිබඳව සිතා බලා කටයුතු කළ යුතුව ඇති බවත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා