බන්ධනාගාර රැඳවියන් සඳහා නව පාසලක්

බන්ධනාගාර රැඳවියන් සඳහා නව පාසලක්

බන්ධනාගාර රැඳවියන් සඳහා නව පාසලක් හෝමාගම වටරැක එළිමහන් සිර කඳවුරේ ආරම්භ කිරීමට පියවර ගැනේ. රට පුරා බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් 80%කට වඩා වැඩි පිරිසක් අටවන ශ්‍රේණි දක්වා පාසල් අධ්‍යාපනය හදාරා නොමැති බව හෙළි වී තිබේ. මේ පිරිස් විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ හේතුවෙන් අපරාධවලට සම්බන්ධ වීමෙන් සිරගත වී සිටින අය බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශය පවසයි.

මේ පිරිස නැවත සමාජගත කිරීමේදී රටේ යහපත් පුරවැසියන් කිරීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශය සමග අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව නව පාසල වටරැක ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. වැලිකඩ සිර කඳවුර ඉන් ඉවත් කරන වැඩපිළිවෙල යටතේ එහි අංශ ගණනාවක් වටරැක එළිමහන් සිර කඳවුරට ගෙන ඒම සැලකිල්ලට ගෙන රැඳවියන් සඳහා ඉදි වෙන ප්‍රථම පාසල වටරැක ඉදිකිරීමට සැලසුම් කර ඇත.

පාසල ආරම්භ කිරීමේ ගිවිසුමක් අස්සන් කිරීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් විසින් වටරැක එළිමහන් සිර කඳවුරේ (06) සිදු කෙරිණ. මේ අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. ඩී. කුමාරසිරි, උප සභාපති ඉන්දික කෝරළගේ, වටරැක බන්ධනාගාර අධිකාරි නාමල් බණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා