අද සමහරු ජීවත්වෙන්නේ මෙගා නාට්‍ය එක්කයි

අද සමහරු ජීවත්වෙන්නේ මෙගා නාට්‍ය එක්කයි

වේයන්ගොඩ කටුවස්ගොඩ ශ්‍රී අරිනන්දනාරාම පුරාණ විහාරාධිපති, නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය

මහගම සීලානන්ද හිමි

බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මෙලොව, පරලොව යන දෙලොවටම වැඩදායකය. බුදු දහම තුළ වැඩිවශයෙන්ම අන්තර්ගතව ඇත්තේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දහම් කරුණු වේ. පුද්ගලයා සහ සමාජය යහපත් කිරීමට ධර්මය තරම් වටිනා ඔසුවක් තවත් නැත. අද පවතින විපරිත ලොකයෙන් පුද්ගලයන් මුදා යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට බුදු දහමෙන් ලැබෙන අනුබලය පිළිබඳ මේ සංවාදය, වේයන්ගොඩ කටුවස්ගොඩ ශ්‍රී අරිනන්දනාරාම පුරාණ විහාරාධිපති, නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය මහගම සීලානන්ද හිමියන් සමගිනි.

* වර්තමාන සමාජය දෙස බැලීමේදී පුද්ගලයා තුළින් යහපත් ආකල්ප ගිලිහී යාමකුත් ඒ තුළින් සමස්ත සමාජයේ සාරධර්ම පිරිහීමකුත් දක්නට ලැබෙනවා. ප්‍රථමයෙන් ඒ පිළිබඳ කතා කළොත්?

පවුලක් ගොඩනැගෙන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ එකතුවෙන්. සමාජයේ මූලික ඒකකය වන්නේ පවුලයි පවුලක් ශක්තිමත් වීමෙන් හෝ යහපත් වුවහොත් පමණයි සමාජයක් යහපත් වන්නේ. කුටුම්භය නැතහොත් පවුල තුළ මව්පිය දූදරු, ස්වාමි, භාර්යා, සහෝදර සහෝදරියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳ බුදු දහම තුළ ඉතා පැහැදිලිව විග්‍රහ කර තිබෙනවා. එසේම යහපත් පවුල් ඒකකයක් ගොඩනැගුණොත් පමණයි යහපත් සමාජයක් නිර්මාණය වන්නේ. නමුත් වර්තමාන සමාජයේ මව්පිය දූදරු, ගුරු සිසු, ස්වාමි භාර්යා, සේව්‍ය සේවක, ගිහි පැවිදි ආදි සෑම අංශයකම දුරස්වීමක් දකින්නට ලැබෙනවා.

* මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපා ඇති හේතු ලෙස ඔබ වහන්සේ දකින්නේ මොනවාද?

වර්තමාන සමාජයේ මිනිස්සු හැල්මෙ දුවනවා. විවේකයක් නැහැ. මනසට විවේක බුද්ධියෙන් හිතන්න වෙලාවකුත් නැහැ. එදා අපේ පැරැන්නන් ධර්ම සාහිත්‍ය රස වින්දා. අපේ ජාතක පොත, සද්ධර්මරත්නාවලිය, බුත්සරණ, අමාවතුර වැනි පත පොත කියෙව්වා. ඒ තුළින් ඔවුන් තුළ හොඳ රසඥතාවයක් වගේම සදාචාර සම්පන්න බවකුත් ඇති වුණා. අපේ ජනකවියේ පවා තිබුණේ අව්‍යාජ වූ නිර්මල හැගීම්. නමුත් අද තත්ත්වය හාත්පසින් වෙනස් වෙලා. අද බොහෝ දෙනෙක් ජීවත්වන්නේ මෙගා එක්කයි. එදා ගිහි පැවිදි සම්බන්ධතාවයත් ඉතාමත් හොඳින් පැවතුණා. නමුත් අද රූපවාහිනියට ඇබ්බැහිවීම නිසා සන්ධ්‍යා කාලයේදී මිනිසුන්ට පන්සලට එන්න වෙලාවක් නැහැ. වර්තමානයේ ඇහෙන ඇතැම් ගීතත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරනවා. ඒවායෙන් ළමා පරපුර හා තරුණ පරපුරේ පමණක් නොව වැඩිහිටියන්ගේත් මානසික විකෘතිතාවයක් ඇති වෙනවා. එයින් අපේ සංස්කෘතියට වන හානිය අතිවිශාලයි. එදා සමාජයේ තිබුණු සාරධර්ම, ගුණධර්ම, මව්පිය, දූදරු සම්බන්ධය, වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම ආදිය අද අපේ සමාජයෙන් ඈත් වෙලා.

* පුද්ගලයා හා සමාජය පිරිහීම පිළිබඳ බුදු දහමේ විග්‍රහ වන්නේ කෙසේද?

සිඟාලෝවාද සූත්‍රයේ ඒ පිළිබඳ සඳහන් වෙනවා. අපාය මුඛ එසේත් නැතිනම් මිනිසා දුගතියට යන දොරටු රැසක් බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. රහමෙර පානය, සූදු කෙළිය, අවේලාවේ වීදි සංචාරය, පාපමිත්‍ර සේවනය, අලසකම, නිතර නැටුම් ගැයුම් බලන්නට යාම ආදිය අපාය මුඛ ලෙස එහි සඳහන් වෙනවා. මෙම අපාය මුඛ අද සමාජය තුළ වැඩිවෙලා. බොහෝ වෙලාවට අපේ මිනිසුන්ට සිල් ගන්නට හෝ ආගම දහම මතක් වෙන්නේ වයසට යනවිටයි. එතෙක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ජීවිතය මනා සුන්දර දෙයක් ලෙසයි. එතෙක් මිනිස්සු පංචකාමයෙහි ඇලිලා ජීවත් වෙනවා. එසේම විසුක දස්සනවල වෙලී ඉන්නවා.

* සිඟාලෝවාද සූත්‍රය තුළ එන මව්පිය දූදරු, ගුරු සිසු සම්බන්ධතාවය පිළිබඳ සඳහන් කළොත්?

දරුවන්ගේ ලෝකයට ආලෝකය ගෙන එන්නේ මව්පියන් නිසා සිඟාලෝවාද සූත්‍රයේ දී ඔවුන්ව නැඟෙනහිර දිශාවටයි උපමා කරන්නේ. මව්පියන් වෙනුවෙන් දරුවන් ඉටු කළ යුතු යුතුකම් කොටසක් එම දේශනාවෙන් පෙන්වා දෙනවා. එහි අවසාන යුතුකම ලෙස පෙන්වා දෙන්නේ මරණයට පත්වූ පසු පින් අනුමෝදන් කිරීමයි. අද සමාජයේ බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ මේ අවසාන යුතුකම ඉටු කිරීම පමණයි.

මව්පියන් මියගියාට පසු මහා ශබ්ද පූජා පවත්වා පිංකම් සිදුකරනවා. නමුත් මව්පියන් ජීවත්ව ඉදිද්දී ඔවුන්ට සලකන්නේ නැහැ. ගොඩක් මව්පියන් මහළු නිවාසවල දුක් විඳින්නේ ඒ තත්ත්වය නිසයි.

බුදුන් වහන්සේ වැඩිපුර දේශනා කර තිබෙන්නේ මව්පියන් ජීවත්ව සිටියදී ඉටුකළ යුතු යුතුකම් පිළිබඳවයි.

ඒ වගේම මව්පියන්ගෙනුත් යම් වගකීමක් දරුවන්ට ඉටුවෙන්න ඕනා. දරුවෝ බිහි කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔවුන්ට පාපය, පින, යහපත, අයහපත පෙන්වාදී යහපත් ආකාරයට ජීවත්වීමට මඟ පෙන්වීම අවශ්‍යයි. ඉස්සර පවුල තුළින් දරුවාට ආදරය, සෙනෙහස, රැකවරණය ලැබුණා. නමුත් අද දරුවන්ට මව්පිය සෙනෙහස ලැබෙන්නේ අඩුවෙන්. මව්පියන්ගේ අවිවේකී බව තමයි එයට ප්‍රධාන ලෙස බලපා තිබෙන්නේ.

ගුරු - සිසු සම්බන්ධයත් ඉතාම උත්තරීතර දෙයක්. අද ගුරුවරයාගේ භූමිකාවත් මුදලට වාණිජත්වයට යටවෙලා. දරුවන් තුළින් ගුරු ගෞරවය නැති වෙලා. මේ තත්ත්වයන් සමාජ පරිහානියට හේතු වෙලා තිබෙනවා.

* පවුලක පැවැත්ම රඳා පවතින්නේ ස්වාමියා සහ භාර්යාවගේ ක්‍රියාකලාපය මතයි. ඔවුන්ගේ සම්බන්ධය කෙබඳු විය යුතුද?

ස්වාමි – භාර්යා සම්බන්ධය දරුවන්ටත් බලපානවා. මව්පියන් අතර නිතර අඬදබර, කලකෝලාහල ඇතිවෙනවා නම් දරුවන්ගේ මනසට එය බලපානවා. ඒ තුළින් සමාජයට වෛර කරන දරුවන් බිහි වෙනවා. ඒ නිසා ස්වාමියා සහ භාර්යාවගේ සම්බන්ධය දෙවියකු සහ දෙවගනක අතර සම්බන්ධයක් හා සමාන විය යුතු යැයි බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. යහපත් පවුලක් ඇති වීමට හොඳ බිරිඳක් සහ හොඳ සැමියෙකුගේ භූමිකාව ඉතාම වැදගත්.

* පුද්ගලයා හා සමාජය යහපත් කිරීමෙහිලා බුදු දහමෙහි වැදගත්කම සඳහන් කළොත්?

බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකයි. එම ධර්ම අතීතයට පමණක් නොව වර්තමානය අනාගතය යන තුන් කාලයටම ගැළපෙනවා. ධර්මය සත්‍යයක්. ඒ ධර්මය වලංගුයි. නමුත් එම ධර්මයෙන් ප්‍රයෝජන නොගන්න එක තමයි අඩුපාඩුව. අපේ රටේ මිනිස්සු බණ අහනවා. නමුත් ඒවා පිළිපදිනවා අඩුයි. බණ අහන එකත් අද මෝස්තරයක් වෙලා. පුද්ගලයා හා සමාජය යහපත් කිරීමේදී ධර්මය හැරුණුවිට මව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, භික්ෂූන් වහන්සේලාට වගේම ජනමාධ්‍යයටත් ලොකු වගකීමක් පැවරෙනවා. වැඩිහිටියන් සහ ගුරුවරුන් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනා. විශේෂයෙන් සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. ගුරුවරු, වැඩිහිටියන් සහ මව්පියන් එහි පෙරගමන්කරුවන් විය යුතුයි කියලයි මම හිතන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා