සෙනසුරු මාරුව රටටත් ඔබටත් සුභ ඵල දෙන අයුරු

සෙනසුරු මාරුව රටටත් ඔබටත් සුභ ඵල දෙන අයුරු

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ අටවැන්නේ අස්තවෙමින් වක්‍ර වෙමින් ගමන් ගත් සෙනසුරු ඔක්තෝබර් 31 දායින් පසු උදාගමන ආරම්භ වී නොවැම්බර් 15 වැනිදා තුලා රාශියට ප්‍රවිශ්ඨ වේ.

කුම්භ ලග්න කේන්දරයේ ලග්නාධිපති වූ සෙනසුරු භාග්‍යස්ථාන ගතවීම රජයටත් ජනතාවටත් ඉතා වාසනාවන්ත කාලයක් වග ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව පෙන්වා දිය හැකිය.

ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු වේ. දේශීය හා විදේශීය සතුරු බලවේග මර්ධනය කර ජාතික සමගිය ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දරන උත්සාහය සාර්ථක වේ.

රජයේ දූරදර්ශී පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට පැසසුමට ලක්වේ. දේශීය හා විදේශීය කර්මාන්ත දියුණුවට මග ඇති කෙරේ. ආගමික පුනර්ජීවයක් ඇතිවේ. අධ්‍යාපනයේ නව වෙනස්වීම් කීපයක් ඇති කෙරේ. ආර්ථික සංවර්ධන ඇතිකිරීමට රජය ගන්නා උත්සාහයට ජනතාවගේ නොමඳ සහයෝගය ලැබේ.

කාලගුණයේ විෂමතාවයන් ඇති වේ. ඉන් කෘෂිකර්මාන්තය සඳහා බලපෑම් ඇතිවේ. අමාත්‍ය මණ්ඩලයේ වෙනස්කම් ජනතාවට සුබදායක ලෙස ඇති කරයි. පාර්ලිමේන්තුව තුළ ඉතා උණුසුම් අන්දමින් විවාද ඇතිවේ.

ලබන වසරේ අගෝස්තු සැප්තැම්බර් මාස වන විට පාතාල නායකයන්ට දරුණු අපරාධකරුවන්ට මහත් විපත් ගෙන දේ. ගොවි කම්කරු ජනතාවගේ සුභසිද්ධියට කටයුතු සැලසුම් කෙරේ. ගායක ගායිකාවන්ට කලාකරුවන්ට යහපත් වන සුභදායක කටයුතු රජය මගින් ක්‍රියාත්මක කරනු ඇත. අවසාන වශයෙන් සෙනසුරු මාරුව රටටත් ජනතාවටත් සුභඵල උදාවෙන බව නැවත වාරයක් පැවසිය හැක.

මේෂ ලග්නය

ජීවන රිටාවේ වෙනස්කම්

මේෂ ලග්නය හිමි ඔබේ කේන්දරයේ හත්වැන්නට සෙනසුරු පිවිසේ. සෙනසුරු මේෂ ලග්නයට සුභදායක ග්‍රහයෙක් නොවේ. එසේ වී නමුත් සෙනසුරුට හත්වැන්න දිග්බල වීම මත තද අශුභකාරී තත්ත්වයන් ඇති නොවේ. හත්වැන්න විවාහ ස්ථානය වේ. අවිවාහක අයට විවාහ යෝජනා ඉදිරිපත්වීමට හැකියාව ඇත. ජීවන රටාවේ පරිසරයේ වෙනස්කම්වලට තුඩු දේ. උපතේ දී සෙනසුරු ගමන් කළ රාශි අනුවද සුභ අශුභ තත්ත්වයන් නිගමනය කිරීමට සිදුවනවා ඇත.

වෘෂභ ලග්නය

අනාගත දියුණුව

වෘෂභ ලග්න හිමි ඔබේ කේන්දරයේ හයවැන්නට සෙනසුරු ගමන් කරයි. වෘෂභ ලග්නයට සෙනසුරු සුභඵල උදාකරන යෝගකාරක ග්‍රහයා වේ. අනාගත දියුණුවට අභිවෘද්ධියට කටයුතු සැලසුම් කරගත හැකිය. ශාරීරික සුවය ලැබේ. සතුරන් මර්ධනය වේ. හිතවතුන් හිතවතියන් අතර සම්බන්ධතා ගොඩ නැගේ. වෙළෙඳ ව්‍යාපාරවලින් කර්මාන්තවලින් ලාභ ලැබේ. ආර්ථික දියුණුවක් ඇතිවේ. රැකියාවල උසස්වීම් අත්වේ. සිතේ සතුට සොම්නස ඇති වේ. ප්‍රසිද්ධ වේ.

 

මිථුන ලග්නය

මිශ්‍ර ඵල

මිතුන ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ පස්වැන්නට සෙනසුරු පිවිසේ. සෙනසුරු මිතුන ලග්නයට අශුභ ඵල උදා නොකරයි. මධ්‍යස්ථ ප්‍රතිඵල ලබා දෙයි. පස්වැන්න විද්‍යාස්ථානය වේ. ඉගෙනීම් කටයුතුවල තිබූ දුර්වලතාවයන් අඩුවනු ඇත. විභාග ආදියට පෙනී සිටීනම් උත්සාහය හා උනන්දුව ඇතිකර ගැනීමෙන් සුභ ප්‍රතිඵල ලබාගත හැක. උදරයේ යම්කිසි රෝග තත්ත්වයන් එනම් ආහාර නොදිරවීමේ ලෙඩ සෑදීමට පුළුවන.

කටක ලග්නය

ඉඩකඩම් දේපළ

කටක ලග්න ඔබගේ කේන්දරයේ සෙනසුරු හතරවැන්නට පිවිසේ. සෙනසුරු කටක ලග්නයට මිශඵල උදා කරයි. දේපළ ඉඩකඩම් පිළිබඳ සතුටුදායක තත්ත්වයක් ඇතිවේ. අලුත් දියුණුවක් වෙනසක් ඇතිවීමට කරුණු සැලසේ. ආදායම් ලැබීම සම්බන්ධයෙන් යහපත් ප්‍රවණතාවයක් ගොඩනැගේ. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර ලැබේ. සිතේ සතුට සැනසුම ඇතිවේ. නව රැකියා ලැබීම් හා ව්‍යාපාර දියුණුවට කටයුතු යෙදේ.

සිංහ ලග්නය

අභියෝග ජයගනී

සිංහ ලග්න ඔබේ කේන්දරයේ උපචය ස්ථානයක් වන තුන්වැන්නට සෙනසුරු පැමිණීම ශුභදායක වේ. උනන්දුව හා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් අනාගත දියුණුව සලසා ගැනීමට හැකිවේ. අභියෝග ජයගෙන කටයුතු කිරීමට හැකිවේ. රැකියාවේ දියුණුවක් ඇති වේ.

ධනය ලැබීමේ වාසනාව මෙන්ම ඉඩකඩම් දේපළ ආදියේද වර්ධනයක් ලබා ගත හැකිවේ.

කන්‍යා ලග්නය

වියදම් අධික වේ

මෙතෙක් කල් ලග්නයේ ගමන් ගත් සෙනසුරු ග්‍රහයා දෙවැන්නට ධනස්ථානයට පැමිණේ. සිතේ තිබූ අසහනකාරී ගතියෙන් මිදීමට හැකිය.

සිතට සහනය සැලසිලිදායක තත්ත්වය ඇතිවනවා මෙන්ම උදාසීන කම්මැලි ගතිද නැති ස යනු ඇත. වියදම් අධික වේ. මුදල් ලැබීම අතින් සතුටුදායක තත්ත්වයක් ඇති නොවේ. ශරීර සෞඛ්‍ය අයහපත් වේ. ප්‍රවේසමෙන් සුපරීක්‍ෂාවෙන් ජීවත් විය යුතු කාලයකි.

තුලා ලග්නය

බලාපොරොත්තු ඉටුවේ

තුලා ලග්නය ඔබේ කේන්දරයේ සෙනසුරු ග්‍රහයා උච්චව ලග්නයේ ගමන් කරයි. තුලා ලග්නයට සෙනසුරු යෝගකාරය ශුභ ග්‍රහයා බැවින් අශුභ ඵල හීන කරයි. අරමුණු බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමේ වාසනාව උදා වේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. රැකියා බලාපොරොත්තු විවාහ වීමේ කටයුතුවල සාර්ථක භාවයක් ඇති වේ. ඉගෙනීමේ ප්‍රගතියක් ලබා ගත හැක.

 

වෘශ්චික ලග්නය

අවුල් වියවුල්

වෘශ්චික ලග්න හිමි ඔබේ කේන්දරයේ දොළොස්වැන්නට සෙනසුරු පිවිසේ. ලග්න ඒරාෂ්ටකය ආරම්භ වේ. දොළොස්වැන්න සියලුම නැතිවීම් ක්‍ෂයවීම් පෙන්වන ස්ථානයයි. ගොවිතැන්වලින් ව්‍යාපාරවලින් පාඩු සිදුවේ. අවුල් වියවුල් මැද කාලය ගෙවීමට සිදුවේ. ශරීර සෞඛ්‍යය ගැනද සැලකිල්ලෙන් සිටිය යුතුය. කනගාටුදායක සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවේ.

ධනු ලග්නය

ආදායම් ඉහළයාමක්

ධනු ලග්න හිමි ඔබේ කේන්දරයේ අයස්ථානයට සෙනසුරු පැමිණේ. ව්‍යාපාරවලින් කර්මාන්තවලින් හා ගොවිතැන් වැඩවලින් ලබන ආදායමේ ඉහළ යාමක් ඇතිවේ. දියුණුවට කටයුතු සැලසේ. පවුලේ දියුණුවට කරන වැඩ සාර්ථක වේ. හදිසි ධන ලාභ ලැබේ. අලුත් හිතමිතුරන් මුන ගැසේ.

මකර ලග්නය

සිතේ සතුට ඇතිවේ

මකර ලග්න ඔබේ කේන්දරයේ ලග්නාධිපති වූ සෙනසුරු දසවැන්නට පැමිණේ. දසවැන්න කර්මස්ථානය වේ. රැකියාවේ අවහිර බාධක ඉවත් වේ. රැකියා ස්ථානයේ ඊර්ෂ්‍යාකාරයන් සතුරන් ඇති වුවත් ඒවා මර්ධනය කර ගනිමින් වැඩ කර ගැනීමට හැකිවේ. කටයුතු අධික වේ. මහන්සි වී වැඩ කිරීමට සිදු වුවත් සිතේ සතුට ඇති වේ.

කුම්භ ලග්නය

වාසනාවන්ත කාලයකි

කුම්භ ලග්න කේන්දරයේ නමවැන්න වූ භාග්‍යස්ථානයට ලග්නාධිපති සෙනසුරුගේ පිවිසීම යහපත් වේ. වාසනාවන්ත වේ. තමාගේ දියුණුවට කටයුතු සැලසේ. උසස් අධ්‍යාපනය ලබන කුම්භ ලග්න දරුවන්ට මෙම කාලය යහපත් වේ. විභාග ආදියෙන් ජය ලැබේ. රැකියා නොමැති අයට රැකියා ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

මීන ලග්නය

ආගමානුකූලය කාලය ගෙවිය යුතුය

මීන ලග්න කේන්දරය අටවැන්නට සෙනසුරු පිවිසේ. එය යහපත් නැත. අෂ්ඨම ඒරාෂ්ටක තත්ත්වයකි. ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත. වැටීම් සීරීම් හා හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුය. කනගාටුදායක සිද්ධිවලට මුහුණපෑමට සිදුවේ. බොරු චෝදනා හා නින්දා අපහාසවලට ගොදුරු වේ. අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් බැවින් ආගමානුකූලව ජීවත් විය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා