කාබන්ඩයොක්සයිඩ්වලට එරෙහි දැයට සෙවණ රුක්රෝපණ වැඩසටහන

කාබන්ඩයොක්සයිඩ්වලට එරෙහි දැයට සෙවණ රුක්රෝපණ වැඩසටහන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හැටපස්වැනි (65) වැනි ජන්මදිනය හා එතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සැමරීම කේන්ද්‍ර කර ගනිමින් ඉකුත් වසරේ නොවැම්බර් 15 වැනිදා පැළ එකොළොස් ලක්ෂයක් සිටුවීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් දැයට සෙවණ නමින් ජාතික රුක්රෝපණ වැඩසටහන සංවිධානය කෙරිණි.

මධ්‍යම රජයේ සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල පළාත් සභා හා පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය, පෞද්ගලික ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා දායකත්වය ලබා දුනි. එකී වැඩ සටහන යටතේ දිවයින පුරා පැළ 2902851ක් සිටුවනු ලැබිණි.

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කෙරෙන මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාර පැළ සිටුවීම තුළින් ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම හා රජයේ තිරසාර සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක හරිත ලංකා වැඩසටහනට අනුකූල වන අයුරින් දැයට සෙවන ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම ජාතික වැඩසටහන වාර්ෂිකව පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඉදිරියේදීත් එය වාර්ෂිකව පැවැත්වේ. මෙවරත් ජාතික වැඩ සටහන් ඉලක්කය රටපුරා පැළ ලක්ෂ එකොළහක් සිටුවීමයි. ලොව මෙතරම් පැළ ප්‍රමාණයක් එක්වර සිටුවන රට ලෙසද ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය.

මෙවර ජාතික වැඩ සටහන දියවන්නා ඔය ජපන් මිත්‍රත්ව මාර්ගය අසලදී මෙම 15 වැනිදා පෙරවරු 9.01ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර මේ යටතේ කාර්යාල පරිශ්‍ර, මහා මාර්ග දෙපස වැව් තාවුලු, ඛාදනයට ලක්වූ ඉඩම් , ඇළ දොළ ගංගා දෙපස, බෑවුම් සහිත ඉඩම් මෙන්ම වන වගා රහිත හා පැළ සිටුවීමට සුදුසු අනෙකුත් සියලුම භූමි යොදා ගැනීමට නියමිතය.

පරිසර සංවර්ධන පිළිබඳ අනාගත පරපුරේ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණෙන් සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ ක්‍රියාකාරී දායකත්වය මෙම වැඩ සටහනට ලබාගැනීමටද අපේක්ෂා කෙරේ.

දැයට සෙවණ රුක් රෝපණ වැඩ සටහන තිරසාර සංවර්ධනයට අතිශය වැදත් වන බැවින් ඒ යටතේ සිටුවන සෑම පැළයක්ම රැකබලා ගැනීම නඩත්තු කිරීම පිළිබඳවද ක්‍රියා කරනු ලැබේ.

මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය කෙරෙන සහාය හා උපදේශන සේවා පරිසර අමාත්‍යාංශයේ විවිධ අංශවලින් සැපයේ. ජල මූලාශ්‍ර සංරක්ෂණය වීමෙන් ඇළ දොළ ගංගා වැව් පොකුණුවල අවුරුද්ද පුරාම ජලය රඳා පැවතීම නිසා නිසි කලට ගොවිතැන් කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථා සැලසේ.

ශ්‍රී ලාංකික ජෛව සම්පත් හා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා දේශගුණ විපර්යාස කාන්තාරකරණය වැනි ගෝලීය පාරිසරික ගැටලු නිරාකරණය කිරීම සඳහා ද රුක්රෝපණ වැඩ සටහන වැදගත් වේ.

දැයට සෙවණ වැඩ සටහන මගින් වසර 2020 වන විට ලොව කාබන්ඩයොක්සයිඩ් ටොන් 6600000 ඉවත් කර ශ්‍රී ලාංකේය ප්‍රජාවට පමණක් නොව මුළු පෘථිවියේ වෙසෙන සියලුම ජීවීන්ට මහා සේවාවන් සිදුකිරීම අරමුණයි.

කාබන්ඩයොක්සයිඩ් ටොන් එකක් පරිසරයෙන් ඉවත් කිරීම සඳහා ඩොලර් 10ක වටිනාකමක් අවශ්‍ය වෙයි. එම නිසා එක් නිරෝගී වෘක්ෂයක් වසරක් තුළ කාබන්ඩයොක්සයිඩ් ටොන් 6 ක් ඉවත් කිරීම යනු ඩොලර් 60ක වටිනාකමින් යුතු කාබන් ප්‍රමාණයක් ඉවත් කරනවා හා සමානය.

පැළ ලක්ෂ 11ක් රෝපණය කර වර්ධනය කිරීම යනු 2020 වනවිට කාබන්ඩයොක් සයිඩ් ටොන් 66 ලක්ෂයක් වායුගෝලයෙන් ඉවත් කිරීමට හැකිවනවා යන්නයි. ඉකුත් වසරේ රුක් රෝපණ වැඩ සටහන තුළින් මේ වන විටත් එය ඉටුවී ඇති අතර මෙවර පැළ ලක්ෂ 11 ක් සිටුවීම යනු කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමට තවත් රුකුලක් පමණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා