සැත්තෑ වන වියට පා තබන සණස බැංකුවේ නිර්මාතෘ

සැත්තෑ වන වියට පා තබන සණස බැංකුවේ නිර්මාතෘ

ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය

ලෝකයේ මහා ධන කුවේරයින් අති විශාල මුදල් යට කොට රක්‍ෂණ ව්‍යාපාරය ආරම්භ කරද්දී ගම්වල ක්‍රියාත්මක වූ මරණාධාර හා සුබ සාධක සමිති මුල් කර ගනිමින් රක්ෂණ ව්‍යාපාරය ආරම්භ කළේ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාය.

එදා අපරදිග වට්ටෝරුවලින් පිරුණු සුවඳ සබන් කැටයට, වෙනිවැල්ගැට කොහොඹ තෙල් හෝ ගොඩපර ගෙඩියක යුෂ නොමැති නම් එය නගරයේ අරුමෝසමින් හැඩවුණ තරුණියකට පවා අලෙවි කර ගත නොහැකි තත්ත්වයට රට ගමන් කරමින් තිබුණි.

එහෙත් දැන් කරාබු නැටි වැනි ගමේ ඖෂධ ශාඛ නොමැති දන්තාලේපයක් රට තුළ අලෙවි කර ගත නොහැකි බව බහු ජාතික සමාගම් පවා විශ්වාස කරති.

සම්බෝලයක්, අච්චාරු ටිකක් නැති තරු පහේ හෝටලයක් මෙහි ඇතිදැයි මම නොදනිමි.

නගරය මෙන්ම නාගරිකයාද ගම ආක්‍රමණය කර ඇති බව මා සඳහන් කළේ එබැවිනි.

මේ පරිවර්තනය දවසකින් දෙකකින් සිදුවූවක් නොවේ. නිදහස් අධ්‍යාපනයත් සමග විවිධ ක්ෂේත්‍රවලින් ඉහළට පැමිණි ගැමි දරුවන් බොහෝ දෙනෙකු මෙහිලා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළහ.

එවන් පුද්ගලයින් අතර පොඩි අප්පුහාමි කිරිවන්දෙණිය නම් වූ ගැමියාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන කිරිවන්දෙණියේදී මීට වසර හැත්තෑවකට පෙර උපත ලැබු පොඩි අප්පුහාමි කිරිවන්දෙණිය හෙවත් පී. ඒ. කිරිවන්දෙණිය නම් වූ ඔහු රට තුළ සුවිශේෂ වෙනසක් කරන්නට ගැමියාට හැකි බව හොඳින් අවබෝධ කර ගත්තේය. අවබෝධ කර ගත්තා පමණක් නොව වසර පනහක් වැනි කාලයක් තුළ ගැමියාගේ ශක්තිය ලෝකය හමුවේද සනාථ කළේය. එහි සුවිශේෂ අවස්ථාව වන්නේ තමන්ගේ නායකත්වයෙන් පෝෂණය කර මෙරට ගැමි ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන්නට තරම් පුළුල් ව්‍යාපාරයක් බවට පත් කළ සණස ශුද්ධ මූල්‍ය බැංකු ක්‍රමය ලෝකයේ එවැනි බැංකු ක්‍රම අතර දෙවැනි තැනට පත්වීමය.

හැත්තෑ වසරක් වූ සිය ජීවිත කාලයෙන් දශක පහකට ආසන්න කාලයක් ගැමි ජනතාවගේ ආර්ථිකයත්, ගැමි ජනතාවත් නගා සිටුවීම පිණිස ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා කළ කැපවීම අකුරුවලට පත් කිරීම එතරම් පහසු නැත. මන්ද එය විවිධ ඉසව් කරා විහිදුන මහා රුකක් බඳු වීමත්.

මීට වසර එකසිය දහයකට පමණ පෙරදී ආරම්භ වී සකසුරුවම් හා ණය දෙන සමිති ව්‍යාපාරය විනාශ වීමේ කර්තව්‍යයට මුහුණ දී සිටි ඉකුත් සියවසේ හැත්තෑව දශකයේදී ඊට උර දුන් කිරිවන්දෙණිය මහතා එතුලින් ගැමි ජනතාවගේ ණය බර ලිහිල් කරන මාවතක් යළි හෙළෙි කළේය. ඔහුගේ ව්‍යායාමය කොතරම් පල දැරුවේද කිවහොත් සමුපකාර ව්‍යාපාරයට කණකොකා හැඬූ සේ ජයවර්ධන මහතා හඳුන්වා දුන් විවෘත ආර්ථිකය හමුවේ ම පවා නොසැලී ශක්තිමත්ව ඉදිරියාමට සමත් විය.

මේ ශක්තිමත් බවේ රහස වූයේ මෙරට ගැමි ජනතාව සකසුරුවම් හා ඉතිරි කිරීමේ ව්‍යාපාරය හෙවත් සණස සමග රොද බැද ගෙන සිටීමය. ඒ ශක්තිය කිසිදු දේශපාලනයකට දේශපාලඥයෙකුට යටත් කිරීමට නොහැකි තරම් විය.

ප්‍රගතිශීලී ව්‍යාපාරයට ලැදිව කටයුතු කිරීම හේතුවෙන් වරක් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ නියෝගයක් මත ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය. එහෙත් ජීවිත අවදානමින් ගැලවීමට ඔහු වටා සිටි සැබෑ නායකයන් ශක්තියක් වූහ. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා සාලක කිරිවන්දෙණිය මහතාගේ නායකත්වයෙන් යුතු සණස ව්‍යාපාරය ජන සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාර දීමය. ඒ තරමටම සණස පොදු ජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඔහු සමත් ව සිටියේය.

ලෝකයේ මහා ධන කුවේරයින් අති විශාල මුදල් යට කොට රක්‍ෂණ ව්‍යාපාරය ආරම්භ කරද්දී ගම්වල ක්‍රියාත්මක වූ මරණාධාර හා සුබ සාධක සමිති මුල් කර ගනිමින් රක්ෂණ ව්‍යාපාරය ආරම්භ කළේ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාය.

මහා ධන කුවේරයින් අති විශාල මුදල් යටකොට බැංකු අරඹන විට ගැමියන්ගේ රුපියල දෙක එකතු කොට සණස සංවර්ධන බැංකුව ආරම්භ කළේ ඔහුය.

කාලයක් ලෝකයේ විවිධ ආයතන හා රටවල ආධාර සණසට ලැබුණත් කිසියම් දිනක ඒ සියල්ල නතර වන බවද ඔහු දැන සිටියේය. ඒ නිසාම සණස තුළින් විවිධ ව්‍යාපාර ආයතන රැසක් ආරම්භ කිරීමද කිරිවන්දෙණිය මහතාගේ දුර දක්නා නුවණේ එක් ප්‍රතිඵලයකි.

සණස මුහුණ සමග ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගම පාරිභෝගික සංවිධානය මේ අතර කැපී පෙනේ.

ඒ සියල්ලටත් වඩා ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා වඩාත් ආදරය කරන්නේ තමා මහත් කැපවීමෙන් ආරම්භ කළ සණස අධ්‍යාපන පීඨයටය.

කෑගල්ලේ අක්කර දහ හතරක භූමි භාගයක් පුරා විහිදුණ සණස අධ්‍යාපන පීඨය සියලුම අංශයන් ගෙන් සමන්විත වේ.

එය ළඟදීම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ආචාර්ය කිරිවන්දෙණිය මහතාගේ අරමුණ වී ඇත.

දැනට රජයේ ආයතන රැසක උපදේශක මට්ටමෙ නිල තල දරන ආචාර්ය පි. ඒ. කිරිවන්දෙණිය මහතා කළක් මහජන බැංකුවේ සභාපති ධුරයද දැරීය.

රුහුණු විශ්වවිද්‍යාලය මගින් ඔහු වෙත ආචාර්ය උපාධියක් පිරිනැමුණේද ඔහගෙන් සිදුවූ විශිෂ්ඨ සේවයට උපහාර ලෙසිනි.

සිය ජීවිතයේ හැත්තෑවෙනි දිනයට පා තබන ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාට රටට සමාජයට තව තවත් සේවය කිරීමට චිර ජීවනය ලැබේවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා