ළමා සාහිත්‍යයට බලපෑ ජාතක කතා සාහිත්‍යය

ළමා සාහිත්‍යයට බලපෑ ජාතක කතා සාහිත්‍යය

ළමයා වූ කලී අපූර්වත ම අයුරින් අලුත් දෑ උකහා ගැනීමට සූදානමින් සිිටින පිරිසිදු මනසක් ඇත්තෙකි. එබැවින් ළමයින් සඳහා නිර්මාණ කළ යුත්තේ මහත් සංයමයකිනි. දෛනිකව දරුවන් ගේ වර්ධනය සඳහා පෝෂ්‍යදායි ආහාර ලබාදෙන්නාක් සේ ම ඔවුන් ගේ මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය ආහාර ළමා සාහිත්‍ය මගින් සැපයෙනු ඇත. ගුණාත්මකභාවය අනුව එම සාහිත්‍යයෙන් විවිධ මට්ටම්වලින් දැකගත හැකි ය. ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සාරගර්භ අදහස් පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල සුගම බස්වහරක් භාවිත කරමින් ළමයින් ළමයින් සඳහා කරනු ලබන නිර්මාණවලට යොදා ගැනීම උචිත ය.

ඉතාලි ජාතික කාලෝ කොලෝඩ් නම් ළමා ග්‍රන්ථ කතුවරයා පවසන්නේ ළමුන් අරභයා නිර්මාණ කිරීම වැඩිහිටියන් සඳහා නිර්මාණ කිරීමට වඩා පහසු කර්තව්‍යයක් බවයි. කාලෝ කොලෝඩ් යනු ළමා පරපුර අතර ඉතාමත් ජනප්‍රිය වූ “පිනෝකියෝ” කතාවෙහි නිර්මාතෘය. ඔහු ගේ අදහස එසේ වූව ද ඇතැම් රචකයන් ගේ අදහස අපහසු ම කාර්යය නම් ළමුන් සඳහා ලිවීම වන බවයි. එය විවිධ රචකයන්ට අනුව වෙනස්වන බව පැවැසිය යුතු ය. ළමයින් සඳහා නිර්මාණ කරන්නට නිර්මාණකරුවන් ළමා මනස පිළිබඳ මනා අධ්‍යයනයකින් යුතුව නිර්මාණකරණයෙහි යෙදිය යුතුම වේ. එසේ නොවන්නේ නම් එය අනාගත පරපුරට එරෙහිව කරන්නා වු බරපතල අපරාධයකි. නිර්මාණ කරන්නා වු සෑම වචනයක් ම පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර නිර්මාණය තුළින් දෙනු ලබන පණිවිඩය පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු ය.

ළමා සාහිත්‍ය යනු පුළුල් විෂය පරාසයකි. කවි, කතා, ගීත සහ නාට්‍ය ආදී ක්ෂේත්‍රයන් පුරා විහිදෙන ළමා සාහිත්‍ය තුළ ළමයින් සඳහා නිර්මාණික කතා ළමුන් අතර වඩාත් ප්‍රචලිත ය. ලෝක ළමා කතා සාහිත්‍ය දෙස බලනවිට සුරංගනා කතා කලාව බටහිර රටවල දරුවන් අතර වඩාත් ජනප්‍රිය විය. 18 වැනි සියවසෙ හි අවසාන භාගය වනවිට ජර්මනියෙහි ළමා සාහිත්‍ය කෘති කිහිපයක් බිහි විය. ජර්මනිය පුරා පැවති ජනප්‍රවාද එක්කොට විල්හෙලම් කාල් ග්‍රීම් සහ ජේකබ් ලුඩ්වික් කාල් ග්‍රීම් යන ග්‍රීම් සහෝදරයෝ වෙළුම් තුනකින් එළිදක්වා ඇත.

ශ්‍රී ලාංකේය ළමා පරපුරට දායාද වූ රසවත් සාහිත්‍යයක් අප රටෙහි ඇත. එය වඩාත් පෝෂණය වී ඇත්තේ බෞද්ධ සාහිත්‍යයෙන් බව නොබියව ප්‍රකාශ කළ යුතු ම ය. ජාතක කතා පොතෙහි එන ඇතැම් කතා ළමුන් සඳහා යෝග්‍ය බව පෙනී යයි. ජාතක කතා පොත හුදෙක් ළමුන් සඳහා රචනා කරනු ලද්දක් නොවුව ද ඇතැම් රචකයන් විසින් සතුන් සම්බන්ධ කතා අලංකාර චිත්‍ර සහිතව ලිහිල් වූ දෙබස් ඇතිව දරු පරපුරට පණිවිඩයක් ගත හැකි ලෙසට කුඩා පොත් වශයෙන් පලකරනු ලැබ ඇත. වඳුරන් සම්බන්ධව ඇති කතා වෙන ම එකතුකොට ළමා පොත් වශයෙන් වෙළෙඳපොලෙහි දක්නට තිබේ.

ජාතක කතා යනු අපූර්වත ම ධර්ම සන්නිවේදන ක්‍රමයකි. විවිධාකාරයේ අවවාද අනුශාසනා උපාසක උපාසිකාවන්ට ලබා දීම එතුළින් සිදු වී ඇත. ජාතක කතා තුළින් ලබා දෙන පණිවිඩය සර්වකාලීන ය. එබැවින් ළමා පරපුර නිසි මං ගැන්වීමෙහි ලා ළමයින් සඳහා ජාතක කතා සාහිත්‍ය උපයෝගී කරගත හැකි ය. සිව්වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු කුරුණෑගල රාජ්‍යකරන සමයෙහි එනම් 14 වැනි සියවසෙහි පන්සිය පනස් ජාතක කතා පොත රචනා විනැයි සැලකුණ ද ගෙන හැර දක්වන්නා වු පණිවුඩය සර්වකාලීන ය. මවුපියන් දූදරු සෙනෙහස, උත්සාහයෙන් දියුණුවීම, තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කිරීම, මෛත්‍රිය පැතිරවීම, අවස්ථානුකූලව යහපත් වෙනසක් සිදුකිරීම, පරිත්‍යාගශීලීවීම, එකමුතුකම, සිල්වත්වීම, කල්‍යාණ මිතුරුකම, සත්‍යවාදීවීම, කලගුණ සැලකීම, උපේක්ෂා සහගත වීම මෙන් ම තණ්හාවෙන් මිදීම පිළිබඳ අලංකාරවත් එසේ ම අරුත්බර කතා ජාතක කතා තුළ දැකිය හැකි ය.

ළමා මනස තුළට විවිධ යහපත් ගුණාංගයන් ආගමික සාහිත්‍යයන් තුළින් රෝපණය කිරිම පහසුවෙන් කළ හැකි ය. ඒ කුමක් නිසා ද යත් ලෞකික කල්පනාවලින් දූෂණය නොවූ පිරිසිදු මනස් ළමයින් සතුවන නිසා ය. උදාහරණයක් ලෙස එකමුතුකමෙහි අගය මැනවින් කියාපාන සම්මෝදමාන ජාතකය එනම් එකමුතුව වැද්දා එළූ දැල රැගෙන ගොස් කටු දැලක පටලා තම ජීවිත බේරාගත් මෙන්ම පසුව බේදවී එසේ නොකොට ජීවිත අහිමි කරගත් වටුරැලේ කතාව කුඩා කල හොඳින් මනසට ගත් දරුවෙකු සෑමවිට ම එකමුතුව කටයුතු කරන්නට පෙළඹෙනු ඇත.

එසේ ම බෙහෙවින් ම ප්‍රචලිත සත්තිකුම්භ ජාතකය තුළින් විවරණය වන්නේ පුද්ගලයා ගේ යහපත් පැවැත්ම උදෙසා පරිසර සාධකය බෙහෙවින් බලපාන බවයි. ඒ අනුව හොරුන් ගේ වාසස්ථානය අසල වැටුණු ගිරාපෝතකයා නපුරු වචන කියමින් දුෂ්ට ලෙස හැසිරෙයි. එසේ ම යහපත් පුද්ගලයා ගේ එනම් තාපස් අසපුවට වැටුණු ගිරාපෝතකයා ශාන්ත ලෙස, කරුණාවන්ත වචන කියමින් හැසිරෙයි. මෙය කුඩා දරුවන් ගේ පෞරුෂ වර්ධනය කිරීමෙහිලා ඉතාමත් උචිත කතාවකි. යහපත් පරිසරය තුළින් යහපත් ඳඬ;සකුත්, අයහපත් පරිසරය තුළින් අයහපත් මිනිසෙකුත් නිර්මාණය වන සර්වකාලීන පණිවිඩය එම ජාතක කතාව තුළින් ලොවට විවරනය වෙයි.

තව ද ඒ හා සමාන කතාවක් ඇතෙකු වටා ගෙතුන මහිලාමුඛ ජාතකයෙන් ද විවරණය වෙයි. මහිලාමුඛ ජාතකයට අනුව මහිලාමුඛ යනු මුලින් ඉතාමත් හීලෑ ගති තිබු ඇතෙකි. එම ඇතු ඉතා ගුණ ගරුක බව රටපුරා ප්‍රසිද්ධ විය. දිනක් ඇත්ගාල සමීපයෙහි සොරමුලක් විවිධ පරුෂ වචන කියමින් එනම් මිනීමැරුම් කොට ගෙවල් බිඳ සොරකම් කරන අන්දම කතා කරමින් සිටියහ. ඇතු මෙයට ඉතා ඕනෑකමින් ඇහුම්කන් දෙමින් සිටියේය. නරක වචනවලින් කතා බහ කළ සොරුන්ගේ වචන නිසා මහිලාමුඛ තුළ රෞද්‍රවු නපුරු ගතිගුණ ඇති විය. ඇතු නපුරු වී ඇති බව රජුට ද සැලවිය. සිදුවී ඇත්තේ කුමක් ද යන්න සොයා බැලීමට රජවාසල පණ්ඩිතතුමා ඉදිරිපත් විය. ඇතුට සිදුවී ඇති දෙය නිරීක්ෂණය කළ ඔහු සිදුවී ඇති සියල්ල සොයා ගත්තේය. නරක ආශ්‍රය නිසා සිදුවු මෙම වැරැද්ද නිවැරැදි කළේ ධර්ම දේශනයක් කිරීම තුළිනි. එතුළින් ඇතු ඉතාම හොඳ ගති ඇති හස්තියෙකු බවට පත්විය.

මේ කතාව තුළින් ගෙනෙන පණිවුඩය නම් යහපත් පරිසරයක් තුළින් යහපත් පුද්ගලයන් ද අයහපත් පරිසරය තුළින් අයහපතුන් ද බිහිවන අතර ඥානය ඇත්තෝ මෙම තත්ත්වය හඳුනාගෙන කටයුතු කරතියි යන්න ය.

ජාතක කතා තුළින් මානව ජීවිතය විවරණය කරයි. බොහෝ විට ජීවිතය පිළිබඳ විවිධ පාඩම් උගත හැකි ය. කුඩා දරුවන්ට සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ දී කතාන්දර මගින් එම කාර්ය වඩාත් පහසුවෙන් ඉටු කළ හැකි ය.

සුරංගනා කතා කලාව තුළින් බටහිර සංකල්ප හා අදහස් දරුවන්ගේ සිත් තුළට කාවැද්දවීම නොවැළැක්විය හැකි ය. ඒ මන්ද යත් ඒවා බිහිවී ඇත්තේ බටහිර රටවල නිසාය. මෙහිදී මාගේ අරමුණ බටහිර සංකල්ප වරද සහගත යැයි පැවසීම නොවේ. ඒවා තුළ ද වටිනා අදහස් ඇත. නමුත් ඒවාට වඩා යථාර්ථවාදී අරුත්බර අදහස් හා සංකල්ප ජාතක කතා තුළින් ළමා මනසට දිය හැකිය. එසේ නම් අප රටෙහි සංස්කෘතියට, සාරධර්මවලට වඩා ගැළපෙන අපේ දේ ළමා පරපුරට දායාද කිරීම තුළින් අනාගත ශ්‍රී ලංකාද්වීපය සාරධර්මවලින් පිරිපුන් රටක් බවට පත් කළ හැකි ය. බුදුදහමින් හා පරිශුද්ධ වූ බෞද්ධ සංස්කෘතියෙන් සුපෝෂිත වු අප ලංකාද්වීපය තුළ වැඩෙන ළමා පරපුරට පිවිතුරු වු බෞද්ධ සාහිත්‍යයෙන් ලබාගත හැකිවන යහපත් සංකල්ප කොතෙකුත් ඇත. මුදිතා, කරුණා, උපේඛා යන සිව් බඹවිහරණවලින් පිරිපුන් පරපුරක් බිහිකිරීමට අපගේම බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රබල වූ ජාතක කතා යොදා ගැනීම ඉතාමත් සඵලදායක වන බව පෙනී යයි.

ඉන්දිකා සංජීවනී ප්‍රනාන්දු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා