ශ්‍රී ලංකා-දකුණු අපි‍්‍රකා පළමු එක්දින ගැටුම අද

ශ්‍රී ලංකා-දකුණු අපි‍්‍රකා පළමු එක්දින ගැටුම අද

ටෙස්ට් තරගමාලාවේ දී ලැබූ දරුණු පරාජය අකාමකා දැමීමේ අදිටනින් යුතුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දිවා රාත්‍රි පළමු එක්දින තරගයට ශ්‍රී ලංකාව අද (11) මනරම් වූ පාල් නගරයේ බෝලැන්ඩ් පිටියේ දී මුහුණ දෙනු ඇත. තරග 2–1 ක් ලෙස ටෙස්ට් තරගමාලාවෙන් දකුණු අප්‍රිකාවට පරාජය වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියට සහභාගි වන්නේ ජයග්‍රහණයේ අප්‍රමාණවූ බලාපොරොත්තු සහගතවය. ටෙස්ට් තරගමාලාවේදී දකුණු අප්‍රිකාවට තර්ජනයක් එල්ල කිරීමට අසමත් වූ ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය එක්දින තරගාවලියේ දී ලසිත් මාලිංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් ගෙන් ශක්තිමත් වී ඇත.

මින් කුලසේකර අවසන් වරට එක්දින කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වසරේ අගෝස්තු මස ආර්. ප්‍රේමදාස පිටියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති සිවුවැනි එක්දින තරගයේ දීය. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කෝසල කුලසේකර හා ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කළ තිසර පෙරේරා හා එක්වී සිටියි. ටෙස්ට් තරගමාලාවට එක්වී සිටි චානක වෙලගෙදරට එක්දින කණ්ඩායමට ඇතුළත් වී නැත. එමෙන්ම කෞෂාල් සිල්වා, තිලාන් සමරවීර, තරංග පරණවිතාන සහ දිමුත් කරුණාරත්නට එක්දින කණ්ඩායමේ ස්ථාන හිමි වී නැත.

වේග පන්දු යවන ක්‍රීඩකයන් වන දිල්හාර ප්‍රනාන්දු සහ ධම්මික ප්‍රසාද් ආබාධයන්ට ගොදුරු වී සිටින බැවින් යොවුන් ක්‍රීඩක කණිෂ්ක ඇල්විටිගල එක්දින කණ්ඩායමට එක්කරගෙන ඇත. දිල්හාර පාදයේ ආබාධයකට ලක්වී සිටින අතර ප්‍රසාද් ආහාර විෂවීමකට ලක්වී සිටියි. පිතිහරඹ අංශයෙන් නායක තිලකරත්න ඩිල්ෂාන්, උපනායක ඇන්ජෙලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් සමග ආරම්භක පිතිකරු උපුල් තරංග එක්දින පිලට ඇතුළත් වී සිටිති. ටෙස්ට් තරගමාලාවේ පිතිහරඹයෙන් අසාර්ථක වූ ජයවර්ධන පෙරේදා පැවැති පුහුණු තරගයේ දී ලකුණු 74ක් රැස් කරමින් යළි ලකුණු අතරට පැමිණ සිටියි. එබැවින් අද තරගයේදී මෙන්ම සමස්ත එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකාවට විශාල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවනු නිසැකය. දෙපිල අතර මේ දක්වා එක්දින තරග 46 ක් පවත්වා ඇති අතර ඉන් තරග 22ක ජය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සම සමව බෙදී ගොස් තිබේ.

එක් තරගයක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වූ අතර තවත් තරගයක් ප්‍රතිඵලයක් නොමැතිව නිමා වී ඇත. මේ අනුව අද දෙපිලම තරගාවලියට පිවිසෙන්නේ ජයපරාජය දෙකම සම සමව ලැබූ කණ්ඩායම් දෙකක් ලෙසිනි. දකුණු අප්‍රිකානු එක්දින සංචිතයට ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩාකළ ක්‍රීඩකයන් වැඩිදෙනකු ඇතුලත් වන අතර ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාව පුරාවටම ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට දැඩි තර්ජනයක් වූ දකුණු අප්‍රිකානු වේගපන්දු බලෑණියේ ඩේල් ස්ටේන් සහ මෝර්නි මෝකල් සමග ඇල්බී මෝකල් ද එක්දින පිලට එක්වී සිටිති. දකුණු අප්‍රිකානු පිතිහරඹ අංශයෙන් ටෙස්ට් තරගමාලාවේ හා අවසන් තරගයේ වීරයන් වූ ඒ බී ඩිවිලියර්ස් සහ ජැක් කලීස් එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට දරුණු හිසරදයක් ගෙනෙනු ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජෙලෝ මැතිව්ස් (උපනායක), උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෝසල කුලසේකර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, දිල්හාර ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කණිෂ්ක ඇල්විටිගල

දකුණු අප්‍රිකානු කණ්ඩායම

ඒ.බී. ඩිවිලියර්ස් (නායක), හසීම් අම්ලා, ජොහාන් බෝතා, ජේ.පී. ඩුමිනි, ෆැෆ් ඩු ප්ලෙසිස්, ජැක් කලිස්, රෝරි කෙලෙන්වෙල්ඩිට්, ඇල්බි මෝකල්, මෝර්නි මෝකල්, වේන් පානල්, රොබින් පීටර්සන්, ග්‍රෙහැම් ස්මිත්, ඩේල් ස්ටේන්, ලොන්වාබෝ සොට්සොබි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා