මහඔය තැපැල් කාර්යාලය කඩා සේප්පුව පැහැරගෙන යමින් සිටි සොර කල්ලිය අතටම අසුවෙයි

මහඔය තැපැල් කාර්යාලය කඩා

සේප්පුව පැහැරගෙන යමින් සිටි සොර කල්ලිය අතටම අසුවෙයි

* සැකකරුවෝ 6ක් -ත්‍රිරෝද රථ 2ක් අත්අඩංගුවට

පසුගිය දෙසතිය ඇතුළත දී මහියංගණය හා ගිරාදුරුකෝට්ටේ තැපැල් කාර්යාල ඇතුළු මහියංගණය නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් කඩා ඒවායෙහි මුදල් සේප්පු පැහැර ගෙන ගිය බවට සැක කෙරෙන කොල්ල කල්ලියක් පෙරේදා (9) රාත්‍රි මහඔය තැපැල් කාර්යාලය කඩා එහි මුදල් සේප්පුව පැහැරගෙන යමින් සිටියදී පුද්ගලයින් හය දෙනෙකු සමග ත්‍රිරෝද රථ දෙකක් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයින් මහියංගණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් ත්‍රිරෝද රථ දෙක මහියංගණ ප්‍රදේශයේ බවත් පොලිසිය හඳුනාගෙන තිබේ. පසුගිය දෙසතිය තුළ මහියංගණ තැපැල් කාර්යාලය බිඳ එහි සේප්පුවේ තිබූ රුපියල් එක්ලක්ෂ විසිහය දහසක මදලක්ද දෙහිඅත්තකණ්ඩිය තැපැල් කාර්යාලය බිඳ එහි තිබුණු රුපියල් 87 දහසක මුදලක්ද මහියංගණ නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන තුනක් කඩා රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක්ද පැහැගෙන ගොස් ඇත්තේ මේ මංකොල්ල කල්ලිය විසින්ම බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

මේ පිරිස මහඔය තැපැල් කාර්යාලය බිඳ සේප්පුව පැහැරගෙන ත්‍රිරෝද රථ දෙකකින් පලායමින් සිටියදී මහඔය සහකාර පොලිස් අධිකාරි ප්‍රියංකර ද සිල්වා මහතාට ලැබුණු හදිසි දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පිරිසක් විසින් මෙම වැටලීම සිදු කොට තිබේ. මුදල් සේප්පුවේ රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් තිබුණු බව මහඔය තැපැල් ස්ථානාධිපතිවරයා පොලිසියට පවසා ඇත. මහඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. එච්. එන්. ජයපද්ම මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා