ආරක්ෂක අමාත්‍යාංශය මතට එරෙහිව සටනට බසී

ආරක්ෂක අමාත්‍යාංශය මතට එරෙහිව සටනට බසී

පසුගිය දෙවසරේ මත්ද්‍රව්‍ය වැරැදිකරුවෝ 31 දහසක්

පසුගිය දෙවසරේ මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරැදිවලට හසුවූ ප්‍රමාණය තිස් එක්දහස ඉක්මවයි. මේ පිරිස අතරින් දහතුන්දහසක් මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ අය බවද හෙළිවී තිබේ.මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ පිරිස ඉන් මුදා ගැනීම පිණිස පුළුල් වැඩපිළිවෙළක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. ඒ යටතේ ජාතික අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලය සහ කොළඹ ක්‍රමය එක්ව ඊයේ ගිවිසුමකට අස්සන් තැබිණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරිමේ පෞද්ගලික ආයතන රාජ්‍ය නොවන සංවිධාන සහ ඒජන්සිවලට වෘත්තීය සුදුසුකම් ලබාදී පුනරුත්ථාපනය ක්‍රමවත්ව සිදු කිරීමට සහාය වීමක්ද මෙහිදී සිදු කෙරේ. ඒ යටතේ එම ආයතනවල වෘත්තීමය ප්‍රතිකාර කරන්නන්ට නොමිලේ පුහුණුව ලබාදීමට අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලය සහ කොළඹ ක්‍රමය තීරණය කර තිබේ. ඒ හා සම්බන්ධ තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයද වැඩි කර ඇත. මේ සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලැබී ඇත. දැනටමත් රටවල් 9 ක සහයෝගය ඊට ලැබී තිබේ. පුනරුත්ථාපනය වූ මත්ද්‍රව්‍ය වැරැදිකරුවන් පිළිබඳ සොයා බැලීමේ පසුවිපරම් වැඩසටහන්ද ක්‍රියාත්මක වෙයි. ඒ හා සම්බන්ධව ප්‍රදේශයේ පොලිසිද දැනුවත් කෙරේ. පුනරුත්ථාපනය වූ පුද්ගලයන්ට ඒ හා සම්බන්ධව සහතිකයක් ලබා දෙයි.

එම සහතිකය ඇති පුද්ගලයන් නැවත අදාළ වැරැදි සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින ලෙසද පොලිසිවලට දන්වා තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූවන් සිරගත වීමක් ලෙස නොසලකා ඔවුන් ඇබ්බැහිවීමෙන් වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වෙයි. පුනරුත්ථාපන හා බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක කොළඹ ක්‍රමය ලේකම් ඇඩම්මානිකු ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් අදාළ ගිවිසුම් අස්සන් කිරීම සිදු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා