හෙරොයින් ළඟ තබාගත් විත්තිකරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් ළඟ තබාගත් විත්තිකරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 506.9ක් අඩංගු පාර්සලයක් රැගෙන පෑලියගොඩ ප්‍රධාන මාර්ගයේ පයින් ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව හෙරොයින් ජාවාරම් කිරීම හා ළඟ තබාගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊට ආධාර අනුබලදුන් බව කියන විත්තිකරු ඊයේ (17) නිදොස්කොට නිදහස් කෙළේය.

මෙම චෝදනාවනට විත්තිකරුට මරණීය දණ්ඩනය පැනවිය යුතු වුවද ලංකාවේ දැනට ප්‍රායෝගිකව මරණ දඬුවම ක්‍රියාත්මක නොවන හෙයින් නිකරුණේ විත්තිකරුවකු බන්ධනාගාරය තුළ රඳවා තැබීම අපරාධයක් බව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවසූ විනිසුරුවරයා විත්තිකරුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.

දෙවැනි විත්තිකරු පළමු විත්තිකරු සමඟ අත්අඩංගුවටපත් වුවද පැමිණිල්ලේ සාක්කිකරුවන් විසින් 2වන විත්තිකරු හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරෙන බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කැර ඇත. මට්ටක්කුලියේ පදිංචිකරුවකු වූ පාන්තියගේ මනෝජ් දාබරේ නමැති විත්තිකරුට මෙසේ බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ශාන්ති ශිවකුමාර් නොහොත් සිවා නමැති නඩුවේ දෙවැනි චූදිත එසේ නිදොස් කොට නිදහස් කෙරුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත පෑලියගොඩ නගරයේ හෝටලයක් ඉදිරිපිටදී කළුපැහැති බෑගයක කුඩු (හෙරොයින්) රැගෙන පයින් ගමන්කරමින් සිටියදී මෙම විත්තිකරුවන් අත්අඩංගුවට පත්ව තිබුණි. විත්තිකරු අතෙහි වූ කළු පැහැති බෑගය තුළ එකක් මත එකක් සිටින සේ වෙන වෙනම පාර්සල් දෙකක හෙරොයින් අසුරා තිබූ බවට නඩු විභාගයේදී හෙළිවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා