පුතුන් මරාදමන බවට තර්ජනය කර විශ්‍රාමික ගුරුවරියගෙන් කප්පම් ඉල්ලලා

පුතුන් මරාදමන බවට තර්ජනය කර විශ්‍රාමික ගුරුවරියගෙන් කප්පම් ඉල්ලලා

මුදල් ඉල්ලූ සැකකාරිය පෙබරවාරි 27 තෙක් රිමාන්ඩ්

විශ්‍රාමිකව සිටින 78 හැවිරිදි ගුරුවරියකගේ අවුරුදු 40ක් හා 34ක් වයසැති පුතුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කොට රුපියල් ලක්‍ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා ඉන් කොටසක් වශයෙන් රුපියල් 65 දාහක මුදලක් හා ස්වර්ණාභරණ ලබාගත් බව කියන කාන්තාවක් පෙබරවාරි මස 27 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා නියම කළේය.

මෙසේ රක්‍ෂිත සිර භාරයට නියම වූයේ මීගහතැන්න ලිහිනියාවේ පදිංචිකාරියක වූ ගාල්ල, හෙට්ටිආරච්චිගේ පුෂ්පකාන්ති නම් අයෙකි. තමා 16 හැවිරිදිව සිටියදී අනියම් සබඳතාවයකින් දියණියක බිහිකළ බවත්, පසුව තම මාපියන් එම දියණියව දරුකමට හදාවඩා ගැනීම සඳහා යුවලකට භාරදී ඇති අතර, ඔවුන්ව තමා නොහඳුනන බව එම විශ්‍රාමික ගුරුවරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. පසුව තමා ගුරුවරියක ලෙස අනුරාධපුර ප්‍රදේශයේ සේවය කළ බවත් විවාහවී දරුවන් දෙදෙනකු ලැබ විශ්‍රාමිකව සිටින බවත් ඇය පොලිසියට තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනක තමා පදිංචි කළුතර ප්‍රදේශයේ නිවසට කාන්තාවන් දෙදෙනකු පැමිණි බවත් ඉන් 60 හැවිරිදි කාන්තාව තමාට දාව උපන් දියණිය බව අනෙක් කාන්තාව හඳුන්වා දුන් බවත්, වැදගත් කරුණක් කතා කිරීමට යැයි පවසා තම දුරකථන අංකය ඔවුන් රැගෙන ගිය බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත. පසුව රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ඉල්ලූ බවත් එම මුදල නොදෙන්නේ නම් දරු දෙදෙනා මරා දමන බවට තර්ජනය කළ නිසා රුපියල් 65000ක මුදලක් හා ස්වර්ණාභරණ දුන් බවත් ඉන් පසුවද මුදල් ඉල්ලා කරදර කළ බවත් එම විශ්‍රාමික ගුරුවරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

ඒ අනුව දකුණු කළුතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලලිත් පද්මකුමාර, සැරයන්වරුන් වන රත්නසිරි (4991), උපුල් (56739), කොස්තාපල් (37109) රත්නායක යන මහත්වරු කප්පම් මුදල් ලබාගත් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. දකුණු කළුතර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් සහ කොස්තාපල් (55301) ගුණේන්ද්‍ර යන මහත්වරු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා