හිරගෙදර රැඳවියෙක් මෙහෙයවු කප්පම් කල්ලියක 3ක් කොටුවෙති

හිරගෙදර රැඳවියෙක් මෙහෙයවු කප්පම් කල්ලියක 3ක් කොටුවෙති

බන්ධනාගාරගත පුද්ගලයකු විසින් මෙහෙයවන, කප්පම් ලබාගන්නා කල්ලියක තිදෙනෙකු මොරටුව ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම මොරටුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. “බඩෝවිට රෝෂාන්” නැමැති ව්‍යාජ නමකින් හඳුන්වන පුද්ගලයකු විසින්, මොරටුව නගර මධ්‍යයේ පරණ ගාලු පාරේ වෙළෙඳ ව්‍යාපාරයක් හිමි අයෙකුට දුරකථනයෙන් කතාකරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් වී සිටින පුද්ගලයන් 4 දෙනෙකුට දින පහක් සඳහා නවාතැන් පහසුකම් සපයන ලෙස මෙම වෙළෙඳසැල් හිමියාගෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඉන් පසුව තමා වෙත රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙස “බඩෝවිට රොෂාන්” පවසා ඇත. තමා ළඟ මුදල් නැතැයි ව්‍යාපාරිකයා කීමෙන් පසු කෝපයට පත් එම තැනැත්තා ව්‍යාපාරිකයාට තර්ජනය කොට මරණ බවට අනතුරු ඇඟවීමෙන් පසු රුපියල් පන්දාහක් ගෙවීමට ව්‍යාපාරිකයා කැමැත්ත පලකොට ඇත. ඉන්පසු තමාට රුපියල් විසිපන්දාහක් අවශ්‍ය බව පවසා එය ලබාගැනීමට තම සගයන්ව වෙළෙඳසැල වෙත එවන බව පවසා දුරකථන සංවාදය අවසන් කොට ඇත. පසුවදා පැමිණි කප්පම්කරුවන් ව්‍යාපාරිකයාගේ පියාගෙන් රුපියල් විසිපන්දාහක මුදල රැගෙන ගොස් ඇත.

එම වෙළෙඳ සැලේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ කප්පම් කල්ලියේ අයගේ රූපයන් මනාසේ සටහන්ව තිබුණි. 16 වන දින ද දුරකථනයෙන් කතා කළ එම තැනැත්තා තවත් රුපියල් විසිපන්දාහක් එදින සවස තමන්ගේ සගයන්ට ලබාදෙන ලෙස දන්වා ඇති අතර ව්‍යාපාරිකයා එය ප්‍රතික්ෂේප කොට ඇත. එයින් උරණ වූ කප්පම්කරු ව්‍යාපාරිකයා හා පවුලේ දරුවන් මරා දමන බවට තර්ජනය කොට තිබේ. බියට පත් ව්‍යාපාරිකයා එම සිද්ධිය මොරටුව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

පොලිස් නිලධාරීන් වෙළෙඳ සේවකයන් ලෙස සැරසී එම ව්‍යාපාරික ස්ථානයේ සේවය කරමින් සිටින අතර සවස 3.45 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ව්‍යාපාරිකයාගෙන් අදාළ මුදල ලබාගන්නා විටම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් බාරයට පත් විය. පොලිසිය කළ විමර්ශනයේදී බන්ධනාගාරයේ සිට මෙය මෙහෙයවන තැනැත්තා බඩෝවිට රෝෂාන් නැමැත්තකු නොවන බවත් ඔහු වෙනත් නමකින් හඳුන්වන්නෙකු බව හොයාගෙන ඇත.

පුවත්පත්වල පලකරන වෙළෙඳ දැන්වීම්වල ඇති දුරකථන අංකවලට කතාකොට ව්‍යාපාරිකයන් බය කරමින් කප්පම් ගන්නා මෙම කල්ලියට අයත් තවත් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් සියලු දෙනාම 28 හැවිරිදි වියේ පසුවන අතර මින් දෙදෙනෙක් බොරලැස්ගමුව වේරහැර වේරහැරවත්තේ පදිංචි අතර අනෙක් තැනැත්තා මොරටුව උස්වත්තේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව සහකාර පොලිස් අධිකාරී එච්. සමුද්‍රජීව මහතාගේ උපදෙස් මත මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්. ආර්. නූර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් හෙට්ටිආරච්චි, උප පොලිස් පරීක්ෂක මාධව රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන 60667 ලියනආරච්චි, 83533 මධුසංක, 8979 තිලක් යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක් වී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා