විවාහ පොරොන්දු දී මුදල්, ආභරණ සොරකම් කරලා

විවාහ පොරොන්දු දී මුදල්, ආභරණ සොරකම් කරලා

පුවත් පත් මංගල දැන්වීම් මඟින් කාන්තාවන් දැන හඳුනාගෙන ඔවුන් විවාහ කරගන්නා බව පවසමින් ඔවුන් සමඟ අඹු සැමියන් ලෙස හැසිරී රන් ආභරණ හා මුදල් රැගෙන පළායන පුද්ගලයෙකු කුරුණෑල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පින්තාරුකරුවකු ලෙස රැකියා කරන මොහු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුවත්පත් මංගල යෝජනා පළකර කාන්තාවන් හෝටල් කාමරවලට රැගෙන යන මොහු කාන්තාවන් ගැබ් ගනී යැයි පවසමින් මත්පෙති පානයට ලබාදී මේ කාන්තාවන් සිහි නැතිකර රන් භාණ්ඩ හා මුදල් රැගෙන පලා යයි.

මේ අනුව කාන්තාවන් 15 දෙනෙක් පමණ මෙම පුද්ගලයාට හසුවී ඇතැයි පොලිසිය පවසයි. ලද තොරතුරක් මත පොලිස් දූෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ කරුණු අනාවරණය වී ඇත. සැකකරු ඉකුත් 16 දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, නි. පොලිස්පති රවී විජේගුණවර්ධන, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අපරාධ නිමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වති

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා