සර්ව ආගමික නායකයෝ සත්‍යක්‍රියා කරති

මවුබිමට එරෙහි විදේශ බලවේග පැරැදවීමට

සර්ව ආගමික නායකයෝ සත්‍යක්‍රියා කරති

දශක තුනක ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් රට විදේශ බලවේගවලින් ආරක්ෂා කරනු පිණිස මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂය සහ මහ ජනතාව එක්ව කොළඹ නගර සභා පරිශ්‍රය අභියස දී ඊයේ (19) මහා අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.

සාමයේ නිදහස භුක්ති විඳින ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, අභිමානයට, භෞමික අඛණ්ඩතාවට එරෙහි කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා සියලු ආගම් හා ජාතීන්ට අයත් ජනතාවගේ එකමුතුව ලොවට කියාපාන්නට මේ අධිෂ්ඨාන පූජාව සංවිධාන කෙරිණ.

නිදහස සුරැකීමේ ජාතික ව්‍යාපාරය සංවිධාන කළ මේ මහා අධිෂ්ඨාන පූජාවට මහා සංඝරත්නය, හින්දු පූජකවරු, ඉස්ලාම් පූජකවරු සහ කිතුණු පූජකවරු දහස් ගණනක් පැමිණියේ සම්ප්‍රදායික නර්තන හා බෙර වාදයකයන් පෙරටු කර ගත් අලංකාර පෙරහරකිනි.

ජාතික ධජ පෙරටු කර ගත් මේ අලංකාර පෙරහර බෙර සක් නද මධ්‍යයේ නගර ශාලා පරිශ්‍රයට පැමිණෙන මොහොත වන විටත් දහස් සංඛ්‍යාත දේශප්‍රේමී ජනතාව ඒ අවට රැස්කමින් උන්හ.

අසීරුවෙන් දිනා ගත් නිදහස හෝ රාජ්‍ය නායකයා ප්‍රමුඛ වීරෝදාර රණවිරුවන් බිලිගන්නට බටහිර බලවතුන් ඇතුළු කොටි හිතවාදීන්ට ඉඩ නොදෙන බවට දැඩි අධිෂ්ඨානය ලොවට පෙන්වන්නට රැස් වූ ජනකායෙන් නගර සභා පරිශ්‍රය වැසී ගොස් තිබිණ.

සර්වාගමික පූජ්‍ය පක්ෂය නගර ශාලා පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුව මේ මහා අධිෂ්ඨාන පූජාව ඇරැඹුණේ සර්වාගමික ආගමික වතාවත්වලින් අනතුරුවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ ප්‍රථමයෙන් බෞද්ධාගමික වතාවත් සිදු කළහ. එහිදී අදහස් දක්වමින් අභයතිස්ස හිමියන් සඳහන් කළේ යුද්ධය නිමා කළ රටේ අභ්‍යන්තර අර්බුද ඇති කරන්නට විවිධ බලවත් රටවල් උත්සාහ දරන බවයි.

මේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය දෙස කල්පනාකාරීව බලා රට ඉදිරියට යන ගමනට බාධා නොකරන ලෙස බටහිර බලවතුන්ගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.

ඉස්ලාම් ආගමික වතාවත් පැවැත් වූ අල්හාජ් මොහොමඩ් ලාෆීර් පූජකතුමා සඳහන් කළේ අපේ රටට එරෙහි අමෙරිකානු යෝජනාවලින් රට රැක ගන්නට සියලුදෙනා එකමුතු විය යුතු බවයි.

කතෝලික ආගමික වතාවත් පවත්වමින් අයිවන් පෙරේරා පියතුමා විවිධ බලවේගයන්ගෙන් එල්ල වන බලපෑම්වලින් රට රැක ගන්නට ජාති, ආගම් භේදයකින් තොරව සියලු ජනතාව ඒකරාශී කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කෙළේය.

ආගමික වතාවත්වලින් අනතුරුව රටට එරෙහි බලවේගවලට විරෝධය පළ කරමින් සියලු දෙනා සත්‍යග්‍රහයක නිරත වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා