පෙම්වතියටත් ඇගේ මාපියන්ටත් වෙඩි තබා කොමාන්ඩෝ සෙබළාත් වෙඩි තබාගනී

පෙම්වතියටත් ඇගේ මාපියන්ටත් වෙඩි තබා කොමාන්ඩෝ සෙබළාත් වෙඩි තබාගනී

පියා රෝහලේ - අනෙක් තිදෙනාම මියයති

කලක් පැවති පෙම් සබඳතාව අතහැර දැමුවේ යැයි උරණ වී යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකු ටී 56 ගිනි අවියකින් තම පෙම්වතියටත් ඇගේ මවට හා පියාටත් වෙඩි තබා මරාදමා තමන්ට ද වෙඩි තබාගෙන ඇත.

මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ දී පෙරේදා (19) අලුයම 5.30ට පමණ තරුණියගේ නිවසට ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර තරුණිය හා ඇගේ මව එම ස්ථානයේ දීම මියගොස් ඇත. වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ පියා බරපතළ තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ගෙල ප්‍රදේශයට වෙඩි තබා ගැනීම නිසා බරපතළ තත්ත්වයෙන් මනුවර මහ රෝහලට ඇතුළු කළ හමුදා සෙබළා ඊයේ (20) අලුයම මියගොස් තිබේ. මොහු පතුරම් ගැබ් දෙකක් අවසන් වනතුරු වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නිරෝෂා ගංගා කුමාරි ජයසූරිය (21) හා ඇගේ මව වන රංජනී ඒකනායක (46) නැමැති දෙදෙනායි. ඝාතනය සිදු කළ කොමාන්ඩෝ සෙබළා ගනේමුල්ල හමුදා කඳවුරට අනුයුක්තව සේවය කැර තිබෙන අතර ඔහු වලපනේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

උපුල් පි‍්‍රයන්ත නැමැති මේ හමුදා සෙබළා විසිතුන් හැවිිරිදි වියේ පසුවූ බව පොලිසිය පවසයි. ඝාතනයට තම ටී. 56 රාජකාරි ගිනි අවිය රැගෙන රාජකාරි අවස්ථාවේදීම පැමිණ මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මොහු ඝාතනය සිදුකළ දිනට පෙර දින රාත්‍රියේ පැමිණ තරුණියගේ නිවස ආසන්නයේ ළඳු කැලෑව තුළ සැඟව සිටින්නට ඇති බවට පොලිසිය සැකකරන අතර ඔහුගේ ගමන් මල්ලේ තිබී ඇතිරිල්ලක් ද පොලිසිය සොයාගෙන තිබේ.

හමුදා සෙබළා තරුණියටත් ඇගේ මවට හා පියාටත් වෙඩි තැබූ අවස්ථාවේ තරුණියගේ බාල සොහොයුරු පැමිණ ඝාතකයාට පොල්ලකින් පහර දී තිබෙන අතර එම පහරත් සමඟ ඇදවැටුණු ඔහු තම ගෙළ ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇත. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම, පොලිස් අධිකාරී නීතිඥ එස්. බී. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුගස්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා