නිඳා සිටි මට වෙඩි ශබ්දය ඇසී ඇහැරී බලද්දී හැමෝටම වෙඩි තියලා

කුළුගම්මන කන්දේ ඛේදවාචකය

නිඳා සිටි මට වෙඩි ශබ්දය ඇසී ඇහැරී බලද්දී හැමෝටම වෙඩි තියලා

බාල දියණිය රුවනි කියයි

“මට වෙඩි ශබ්දෙ ඇහුණා. මම ගේ ඇතුළෙ නිදාගෙන හිටියේ. මට ඇහැරෙනකොට හැමෝටම වෙඩි තියල” කුළුගම්මන ප්‍රදේශයම කම්පාවට පත්කරමින් (19) වැනි සෙනසුරාදා පාන්දර මහනුවර කුළුගම්මන කන්දේ සඳුන් නිවෙසේ පියාටත්, මවටත්, දියණියටත් වෙඩි තබා තමාටත් වෙඩි තබාගත් හමුදා සෙබළකු පිළිබඳ එම නිවෙසේ කුඩා දියණිය වූ රුවනි ජයසූරිය (12) අප හා පැවසුවේ එවැනි වදන් කීපයක් පමණි.

මේ සිද්ධිය පිළිබඳ එම පවුලේ නම සඳහන් නොකළ ඥාතියෙක් අප හා මෙසේ පැවසීය.

උපුල් ප්‍රියන්ත කියන තරුණයා සමඟ මියගොස් සිටින නිරෝෂා ගයානි ජයසූරිය (20) දුව සම්බන්ධයක් තිබිල තියනවා. දෙදෙනා අතරේ මේ සම්බන්ධය ටික කලක් තිබිල තියෙනවා. දෙදෙනා ලියුම් ගනුදෙනු කරල දුරකථනයෙන් කතා කරල එකිනෙකා දැන හඳුනාගෙන.

උපුල් ප්‍රියන්ත යුද හමුදාවෙ සේවය කළේ. මේ සම්බන්ධයට අපේ අක්කා රංජනී ඒකනායක (46) නිරෝෂා දුවගේ අම්මා දැඩි ලෙස විරුද්ධ වෙලා. අක්කාගේ විරුද්ධත්වය මැද දුව පස්සේ පස්සේ මේ සම්බන්ධය අතරමඟ නතර කරල තියනවා. දුව අ. පො. ස. උසස් පෙළ කළේ. 2011 වසරේ නුගවෙල බාලිකා විද්‍යාලයට ගියේ.

පස්සේ උපුල් ප්‍රියන්ත දවසක් කුළුගම්මනට ඇවිත් සඳුන් නිවෙස හොයාගෙන. මෙයා ගමට ආවහම ගෙදර අය ගමේ කට්ටියක් එක්ක එකතු වෙලා උපුල්ට හොඳටම පහර දීල පොලිසියට භාරදීල. ඊට පස්සේ පොලිසියේදී උපුල් ආයෙ කරදර කරන්න එන්නේ නැති බවට පොරොන්දු වෙලා ගිහින්. ඒත් එයා නිරෝෂා දුවට දුරකථනයෙන් තර්ජනය කරල නොයෙක් කරදර කරන්න පටන් අරන්.

19 වැනිදා උදේ පාන්දර 5.30 ට විතර තුවක්කුවක් අරන් ඇවිත් අක්කා රංජනී ඒකනායක කෑම උයන්න ගේ පිටිපස්සෙ කුස්සියේ දොර ඇරියහම දොර ළඟදි අක්කට වෙඩි වරුසාවක් තියල. අද අපට අපේ අක්කත් නැතිවුණා. අයියා සරත් ජයසූරිය එනකොට එයාගෙ උරහිසටයි, පපුවටයි වෙඩි වැදිල තියෙන්නේ. අයියා තවමත් රෝහලේ. නිරෝෂා දුව එළියට පැන්නහම එයාට වෙඩි තියල.

දුව ගේ ඉස්සරහ පඩිපෙළ ළඟ වැටිල හිටියෙ. අපිට දුවත් නැතිවුණා. ගේ ඇතුළෙ හිටිය පුතා ක්‍රිෂාන්ත ජයසූරිය (17) එළියට එනකොට මේ හමුදා සෙබළා තමන්ට වෙඩි තියාගෙන. පොඩි දුව රුවනිට තවම කතා කරන්නවත් බැහැ. එයා කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. එයා කුළුගම්මන මහා විද්‍යාලයට ගියේ. සඳුන් නිවෙස පිහිටා ඇත්තේ පඩිපේළි සියයක් පමණ උඩට ගමන් කළ යුතු කන්දකය. මේ නිවෙස අවට කන්දේ තවත් නිවෙස් දක්නට නැත. මුළු ප්‍රදේශයම ගම්මිරිස් වැල්වලින් හා මානා පඳුරුවලින් වැසී ඇති පරිසරයකි. සඳුන් නිවසේ පාන්දර වෙඩි ශබ්දය ඇසී කඳු පාමුල යාර 200 ක් පමණ දුරින් පිහිටි නිවෙසේ නිවැසියන් සඳුන් නිවසට එන විට උදේ 5.45 ට පමණ වී ඇත.

පහළ නිවෙසේ කාන්තාවක් එම සිද්ධිය අපට මෙසේ විස්තර කළාය.

වෙඩි සද්දේ ඇහිලා අපි එනකොට නිරෝෂා දුව ගේ ඉස්සරහ පඩිපේළියේ වැටිල හිටියා. වෙඩි තියපු කෙනාත් එතනම පඩිපෙළේ වැටිලා හිටියා. එයාට පණ තිබුණා. කුස්සියේ ඒකනායක අක්කා වැටිල හිටියා. අපි සියල්ලන්ම රෝහලට අරන් යන්න කටයුතු කළා. තුවක්කුව පඩිපේළිය උඩින් වැටිල තිබුණා.

වෙඩි තියපු කෙනාගෙ බෑග් එකත් එතනම තිබුණා. ඒකෙ බෙඩ්ෂීට් එකකුත් තිබුණා. කුළුගම්මන ගමේ අය කියන්නේ උපුල් ප්‍රියන්ත නිවෙස උඩින් ඇති කන්දේ රාත්‍රියේ සැඟවී සිට පාන්දර දොර හරිනතුරු රැක සිට ඇති බවයි. ඔහුගේ ගමන් මල්ලේ වූ බෙඩ්පීට් එකේ තණකොළ තැවරී තිබෙනු ඔවුන් දැක ඇත.

සියදිවි නසාගැනීමට තැත්කළ උපුල් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයෙන් පසුවෙයි. මවත්, දියණියත් මෙලොව හැරගොසිනි. කුඩා දියණිය රුවනි දුව ඥාති නිවෙසකය. ඔවුන්ගේ පුතා ක්‍රිෂාන්ත රෝහල්ගතව සිටින තම පියා වූ සරත් ජයසූරිය බලන්නට ගොසිනි. සතුටින් සමාදානයෙන් දිවි ගෙවූ ඔවුන්ගේ ජීවිත තුළ අද කඳුළත්, සන්තාපයත් ඉතිරි කර ගොසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා