පිය-පුතු මළ සිරුරු හල්වතුර ගඟේ

පිය-පුතු මළ සිරුරු හල්වතුර ගඟේ

පුතුගේ වයස අවුරුදු 8 යි

ඇල්පිටිය ඇත්කඳුර පහළගස්ගොඩ පදිංචිව සිටි පියකුගේ සහ පුතකුගේ මළසිරුරු දෙකක් අම්බලන්ගොඩ තලගස්ගොඩ ප්‍රදේශයේ හල්වතුර ගඟේ තිබියදී අම්බලන්ගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම මළ සිරුරු දෙක කිංස්ලි සේනාරත්න නැමැති 44 හැවිරිදි දෙදරු පියකුගේ සහ ලක්ෂාන් සේනාරත්න නැමැති අටහැවිරිදි දරුවාගේ බවට ඔහුගේ බිරිය ඇතුළු ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ තුනවසර පන්තියේ ඉගෙනුම ලබන ලක්ෂාන් එම පවුලේ බාලයා විය. හුගේ වැඩිමහල් සොහොයුරු දිල්ශාන් සේනාරත්න (17) මෙසේ කීය.

මම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබනවා. පෙරේදා (24) සවස 3ට පමණ මල්ලිගෙ කමිස දෙකකට පාසල් බැජ් දෙකක් අල්ලාගෙන එන්න කියල තාත්තා මල්ලිත් එක්ක දොරල හන්දියේ ටේලර් සාප්පුවට යන්න ගියා.

ඒ දෙන්න ගෙදර ඉඳල ගියේ තාත්තාගේ පාපැදියෙන් එදා සවස් වෙනකම්ම මේ දෙන්න ආපසු ගෙදර ආවෙ නැහැ. පස්සෙ අම්මයි අපේ අහල අයයි නෑදෑයොයි සේරම එකතුවෙලා තාත්තවයි මල්ලිවයි දෙන්නම සෙව්වා. එහෙම සොයද්දී උඩුවිල හන්දියෙ කඩයක් ළඟ පාපැදිය තිබිලා හමුවුණා. එකෙ ලොක් එක දාල තිබුණත් යතුර ඒකෙම තිබුණා.

පස්සෙ අම්මා ගිහින් රෑ 8.30 ට විතර ඇල්පිටියෙ පොලීසියෙ පැමිණිල්ලක් දාලා ආවා. පොලීසියෙන් අම්මට කියලා තිබුණ තව ටිකක් සොයල බලන්න කියලා. ඊට පස්සේ අද(25) උදේ ගෙදරට පණිවුඩයක් ලැබුණා මල්ලිගෙ මළසිරුර අම්බලන්ගොඩ ගඟක තිබිල හමුවෙලා කියල. පස්සෙ තමයි තාත්තගේ මළ සිරුරත් එතන තිබිල හමුවෙලා තියෙන්නෙ. අම්ම ගිහින් ඒ තාත්තයි මල්ලියි කියල හඳුනාගත්තා.

තාත්තා මල්ලිත් එක්ක ගඟට පැනල මැරුණද කියන්න මම දන්නෙ නැහැ. ගෙදර කිසිම අඩදබරයක් වුණෙත් නැහැ. තාත්තට එහෙම තරහා කවුරුවත් හිටියෙත්නැහැ. ඒක නිසා මේක මොකක් නිසා වුණාද කියන්න දන්නෙ නැහැ.

තාත්තට ස්නායු ආබාධයක් තිබුණා. ඒකට කරාපිටිය රෝහලෙන් මාස්පතා බෙහෙත් ගන්නවා.තාත්තා කුලීවැඩ කරලා තමයි ගෙදර දොර වියදම කළේ.

මියගොස් සිටින කිංස්ලිගේ බිරිය වනිගවිතාරණ දේවිකාය(40) මළ සිරුරු හඳුනාගැනීමට ගොස් සිටියාය. ඇයගේ සොහොයුරෙකු වන ඩබ්ලිව්.ඩබ්ලිව්.අමරවංශ(33) මහතා මෙසේ කීය. අයියා මේ පවුල නඩත්තු කළේ කුලී වැඩ කරලයි. ඒ අතරෙ එයාගෙ අසනීපයට බෙහෙත් ගන්නත් වියදම් කරන්න සිදුවුණා. මේ නිසා මෙයාලට ආර්ථික අමාරුකම් තිබුණ. ඒත් අයිය ඒවා කාටවත් දැනගන්න තිබ්බෙ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ අයිය මේ බාල පුතාට පණට වගේ ආදරෙයි. එයා කොහේ ගියත් දරුවා එක්කම තමයි යන්නෙ.

එදත් පුතාගෙ කමිසවලට ස්කෝලෙ බැජ් අල්ලන්න කියලයි ගිහින් තිබුණේ. ඒ කමිස දෙක තවම ටේලර් සාප්පුවේ තිබෙනවා. මම හන්දියෙ ත්‍රිවිලරයක් තියාගෙන හයර් කරනවා. අයිය පුතත් එක්ක උඩුවිල ඉඳලා බස් එකක තමයි අම්බලන්ගොඩ යන්න ඇත්තෙ. ඒත් දැකපු කවුරුවත් නැහැ. මට හමුවුණෙත් නැහැ.

අප එහි යනවිටත් මේ පුවත සැලවූ ගම්වාසී් ලක්ෂාන්ගේ නිවසට වැල නොකැඩී එමින් සිටියහ. නිවසට එන අය මෙන්ම ඥාතින්ද ලක්ෂාන්ගේ ඡායාරූප බලමින් හඬා වැටෙන අයුරු ඕනෑම කෙනෙකුගේ හදවත කම්පාවට පත්කරන දසුනක් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා