සබරගමු පළාත් සභාවේ පස් වසරක ගමන්මඟ

සබරගමු පළාත් සභාවේ පස් වසරක ගමන්මඟ

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබාදෙන සබරගමුව පළාත තුළ ඉකුත් පස් වසර ඇතුළත දිළිඳුකම 19.9% සිට 8.7% දක්වා පහතට ගෙන ඒමට පළාත් සභාව සමත් වී තිබේ.

අධ්‍යාපන සංවර්ධනයෙන් 2007 වනවිට හත්වැනි ස්ථානයේ පැවැති සබරගමු පළාත, 2012 වනවිට ජාතික මට්ටමට ගෙන ඒමටද පළාත් සභාව සමත්ව ඇත.

මධ්‍යම රජයෙන් හා විදේශ ආධාර ආයතනවලින් මේ සා විශාල අරමුදල් ලබාගෙන මේ ජයග්‍රහණ අත්කර ගැනීමට රුපියල් දස ලක්ෂ 26207 ක් පළාත තුළ ආයෝජනය කිරීමට සබරගමුව පළාත් සභාවට හැකිවී තිබේ.

වැඩි ම ආයෝජනය කර ඇත්තේ මාර්ග සංවර්ධනයටයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 70000 කට අධික ප්‍රමාණයක් වැයකර ඇත. මාර්ග ගණන 4075 කි.

අධ්‍යාපන සංවර්ධනයට වැයකර ඇති ප්‍රමාණය රුපියල් ලක්ෂ 29000 ක් වේ. සෞඛ්‍ය සඳහා ඉකුත් පස් වසර තුළ රුපියල් ලක්ෂ 22500 ක් ද, පළාත් පාලන ආයතන මගින් කළ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 71000 ක් ද, පාසල් සංවර්ධනයට ලෝක බැංකු ආධාර වශයෙන් රුපියල් ලක්ෂ 21250 ක් හා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් පිරිනමන රුපියල් ලක්ෂ 4450ක් ද වශයෙන් ප්‍රධාන සංවර්ධන අංශ සඳහා මේ ප්‍රතිපාදන යොදාගෙන තිබේ.

මේ අරමුදල් ලබාදීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විශේෂ දායකත්වයක් ලබාදී ඇති බව, පළාත් සැලැසුම් අංශය සඳහන් කරයි.

වර්ග කිලෝමීටර් 4968 සමන්විත සබරගමු පළාත, රත්නපුර හා කෑගල්ල වශයෙන් පරිපාලන දිස්ත්‍රික්ක 2කින් සැදුම් ලබයි. රත්නපුර දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 3275 කින් හා කෑගල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 1693 කින් පමණ සමන්විත වේ.

ප්‍රාදේශීය කොට්ඨාස 28කින් සැදුම් ලබන සබරගමු පළාත, මහ නගර සභා 01ක්, නගර සභා 03ක් හා ප්‍රාදේශීය සභා 25කින් සැදුම් ලබන පළාත් පාලන ආයතන ව්‍යුහයකින් සමන්විත වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මාන 1941 කින් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 1677 කින් සමන්විත වන මේ පළාත, ඡන්ද බල ප්‍රදේශ 17කින් යුක්තය. විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 08 ක් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 09 ක් ලෙස බෙදී ගොස් තිබේ. 1987 සම්මත කරගන්නා ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පළාත් සභා පාලනයක් හා මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක ක්ෂේත්‍ර සඳහා මධ්‍යම රජයේ පාලනයකුත් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන සංවර්ධනය

2011 ජන සංගණනයට අනුව, සබරගමු පළාතේ් මුළු ජනගහනය 1919478 කි. එය රත්නපුර දිස්ත්‍රික්කයේ 1082299 ක් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ 837179 ක් වශයෙන් බෙදී ගොස් තිබේ.

2007 වන විට අධ්‍යාපන සංවර්ධනය සම්බන්ධයෙන් සලකා බලන කල, සබරගමුව පළාත පසුවූයේ පළාත් අතර හත් වැනි ස්ථානයේය. එනමුත් පළාතේ දේශපාලන හා පරිපාලන නායකත්වය හේතුකොට ගෙන, 2012 වනවිට සබරගමුව පළාත ජාතික අධ්‍යාපන දර්ශක හා සමාන මට්ටමට පැමිණ ඇත. එමගින් පළාතක් ලෙස ඉහළට ඔසොවා තබන්නට සමත් වී තිබේ.

මේ තත්ත්වය ළඟාකර ගැනීම සඳහා සබරගමු පළාත් සභාව, ප්‍රධාන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා පහත සඳහන් පරිදි ප්‍රතිපාදන වෙන්කර තිබීම ප්‍රබල පිටිවහලක් වී තිබේ.

පසුගිය පස් වසර තුළ අධ්‍යාපන සංවර්ධනයට වෙන්කරන ලද ප්‍රතිපාදනය රු.මි. 2819.72 කි. විශේෂයෙන් පළාතේ විද්‍යාගාර, පරිගණකාගාර, පළාත් පුස්තකාල සංවර්ධනය, අලුතෙන් සිංහල, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 6000 ක් බඳවා ගැනීම, විද්‍යා, ගණිත ගුරුවරුන් බඳවා ගැනීම ඉහත තත්ත්වයන් ළඟාකර ගැනීමටත් හේතුවී තිබේ. අධ්‍යාපන සංවර්ධනයට පළාත තුළ සිදුකර ඇති දැවැන්ත ආයෝජනය හේතුකොටගෙන, පාසල්වල සිසුන්ගේ රැඳී සිටීමේ මට්ටම ඉහළ ගොස් තිබේ.

සබරගමු පළාතේ 2007 – 2012 වකවානුව තුළ වසා දැමු වතු හා ග්‍රාමීය පාසල් නැවත සවිබල ගැන්වීමටත්, එම පාසල්වලට ගුරුවරුන් පත් කිරීමටත් සබරගමුව පළාත් සභාව කටයුතු කරනු ලැබේ. රත්නපුර 582 ක් හා කෑගල්ල 522 ක් වු සමස්ත පාසල් සංඛ්‍යාව, රත්නපුර 582 ක් හා කෑගල්ල 528 ක් දක්වා වර්ධනය කිරීමට හැකියාව ලැබිණි. එලෙස උසස් හා වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධව සලකා බලන කල එහි ඇති වී ඇති ප්‍රගතිය, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශිෂ්‍ය ප්‍රජාව ඉහළ යාම මගින් කැපී පෙනේ.

සබරගමු පළාතේ වෘත්තීය පුහුණු අංශය සංවර්ධනය සඳහා සබරගමුව පළාත් වෘත්තීය පුහුණු සැලැස්ම හඳුන්වා දුන් අතර, එය 2009-2014 දක්වා වර්ෂය තුළ ක්‍රියාවට නංවමින් පවතී. ඒ යටතේ වෘත්තීය පුහුණු ආයතන සංවර්ධනය, වෘත්තීය මාර්ගෝපදේශනය පාසල්වලට ලබාදීම, පළාත් පරිගණකාගාර ඉදිකිරීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම, වෘත්තීය පුහුණුවට තරුණ තරුණියන් යොමු කිරීම හා ස්වයං ව්‍යාපාරිකයන් නගාසිටුවීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ ස්වයං ව්‍යාපාරිකයන් 600කට, 2012 වර්ෂයේදී ස්වයං ව්‍යාපාර සංවර්ධනයට ප්‍රතිපාදන ලබා දී තිබේ.

සබරගමුව පළාත් සභාවේ පසුගිය වසර 05 තුළ අධ්‍යාපන හා වෘත්තීය අංශවල ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා මධ්‍යම හා රජයේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හේතුවෙන් පළාතේ විරැකියාව අවම කර ගැනීමට හැකිවී ඇත.

ආර්ථික සංවර්ධනය

සබරගමු පළාත ‘මහින්ද චින්තන’ වැඩසටහන යටතේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට අවතීර්ණ වූ පළාතක් ලෙස හඳුන්වාදිය හැකිය. විශේෂයෙන් 2004 වනවිට සබරගමුව පළාත, පළාත් අතර පසුවුයේ 06 වැනි ස්ථානයේය. සබරගමු පළාත සභාව ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හේතු කොටගෙන, මේ වනවිට පළාත් අතර 05 වැනි ස්ථානය කරා ළඟාවීමට හැකියාව ලැබී ඇත. එලෙසම සබරගමු පළාතේ දරිද්‍රතාවයේ ප්‍රතිශතය 2006/2007 දී 19.9% සිට 2010 වර්ෂය අවසන් වනවිට එය 8.7% දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබිණ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා පසුගිය වසර 05 තුළ සබරගමු පළාත් සභාව පමණක් රු.මි.2244.27 ක් ප්‍රතිපාදනයක් වැයකරනු ලැබීය. එයට අමතරව බැංකු ව්‍යාපෘතිය යටතේ රු.මි.462.55 ක ප්‍රතිපාදනයක් ද දරනු ලැබීය. එලෙසම 2012 වර්ෂයේ දී පළාතේ රෝහල් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ අතර, ඒ යටතේ මුලික රෝහල් හා අනෙකුත් රෝහල් සංවර්ධනයට පියවර ගෙන තිබේ. මේ යටතේ පළමු පියවර ලෙස වරකාපොළ මුලික රෝහල සංවර්ධනය කිරීමට පියවරගෙන ඇත.

පසුගිය වර්ෂ පහ තුළ සබරගමු පළාත් සභාව සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරනු ලැබු ආයෝජනය හේතු කොටගෙන, 2007 වර්ෂයේ 3000 ක් වූ පළාතේ රෝහල් ඇඳන් සංඛ්‍යාව, 2011 වර්ෂය වනවිට 3471 දක්වා වැඩිකර ගැනීමට හැකිවිය. ඒ මගින් වාර්ෂිකව අභ්‍යන්තර රෝගීන් 300,000 කට වැඩි ප්‍රමාණයකට හා බාහිර රෝගීන් 2,220,000 ට ප්‍රතිකාර ලබාදීමට හැකිවිය. ඇඹිලිපිටිය, කහවත්ත, කලවාන, බලංගොඩ, කරවනැල්ල, වරකාපොල හා මාවනැල්ල ලෙස මුලික රෝහල් 07 ක් පළාත තුළ ස්ථාපිත කිරීමේ හැකියාව ලැබුණු අතර, දිස්ත්‍රික් රෝහල් තුළ හදිසි ප්‍රතිතාර ඒකක ස්ථාපිත කිරීමට පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සබරගමු පළාත් සභාව පසුගිය වර්ෂ කිහිපයක් තුළ පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට දක්වන ලද දායකත්වය හේතුකොටගෙන, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දර්ශක සම්බන්ධව ජාතික මට්ටම කරා ළඟාවීමට හැකියාව ලැබී තිබේ.

සබරගමුව පළාත් සභාව පසුගිය වර්ෂ කිහිපය තුළ ප්‍රධාන රෝහල්, මුලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් සංවර්ධනයට පමණක් නොව, පළාතේ වතු ප්‍රජාවට පහසුකම් සපයනු ලබන වතු රෝහල් සංවර්ධනයට ද පියවර ගනු ලැබීය. ඒ වගේම පහත සඳහන් වතු රෝහල් සඳහා පසුගිය වසර 05 ක් තුළ රු.මි. 16.38 ක ප්‍රතිපාදන රෝහල් වැඩි දියුණු කිරීමට යොදවනු ලැබීය.

සබරගමු පළාත් සභාව මඟින් 2007 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා පසුගිය වර්ෂ 05 ක් තුළ පළාතේ මාර්ග සංවර්ධනය සඳහා රු.මි. 7107 ක් වෙන්කර තිබේ.

විශේෂයෙන් ඒ යටතේ C හා D ගණයට අයත් මාර්ග මෙන් ම, ග්‍රාමීය ප්‍රවේශ මාර්ග සංවර්ධනයට දායක වී තිබේ. විශේෂයෙන් ඒ යටතේ පසුගිය පස් වසර තුළ පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 4075 ක් නිම කිරීමට හැකියාව ලැබී ඇත.

සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනය

සබරගමු පළාත් සභාව පසුගිය වර්ෂ 05 ක් තුළ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රු.මි.185.96 ක් වෙන්කර ඇත.

මේ යටතේ පසුගිය වර්ෂ 05 ක් තුළ පහත සඳහන් වැඩසටහන් ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබී තිබේ.

l සබරගමුව පළාත් සභාව සඳහා පස් අවුරුදු සංචාරක සැලැස්ම යටතේ ප්‍රධාන සංචාරක කලාප 06 ක් යටතේ සංවර්ධනය කිරීම. ඒ යටතේ මාඔය ආශ්‍රිත සංචාරක කලාපය, සමනල සංචාරක කලාපය වඩාත් වැදගත් වේ.

l සබරගමුව සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ආරම්භ කිරීම හා සංචාරක ක්ෂේත්‍රයට පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට හැකිවීම.

l සංචාරක වෙබ් අඩවියක් ආරම්භ කර පවත්වාගෙන යාම.

l සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙත නාම පුවරු සවි කිරීම.

l සංචාරක මඟපෙන්වන්නන් පුහුණු කිරීම.

l ප්‍රජා පාරිසරික ගම්මාන පිහිටුවීම

(රඹුක්කන, පදවිගම්පල, බෙලිහුල්ඔය, සීලගම)

l නව සංචාරක ආකර්ෂණ ප්‍රවර්ධනය කිරීම.

i. උඩවලව වන උද්‍යානය සඳහා හඳගිරිය ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම හා වන උද්‍යානය ඇතුළත ජීප් රථ මාර්ගයක් ඉදිකිරීම.

ii. ලෝකාන්තය දක්වා දිවෙන නන්පේරියල් මාර්ගය ඉදිකිරීම.

iii. මාවනැල්ල ඉහළ කෝට්ටේ මාර්ගය ඉදිකිරීම.

l සංචාරක ගිමන්හල් ඉදිකිරීම.

l නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. (උදා- දූවිලි ඇල්ල, බෝපත් ඇල්ල)

කෘෂි ක්ෂේත්‍ර සංවර්ධනය

සබරගමු පළාත් සභාව මගින් 2006 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා කාලය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රු.මි.937 ක් ආයෝජනය කර ඇත. ඒ යටතේ කෘෂිකර්ම සංවර්ධනය, ග්‍රාමීය වාරිමාර්ග පුනරුත්ථාපනය, ඉඩම් සංවර්ධනය හා පශු සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍ර වෙත ප්‍රතිපාදන වැයකර තිබේ.

සබරගමු පළාත් සභාව පසුගිය වර්ෂ 05 ක් තුළ කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනයට කරන ලද ආයෝජනය හේතුකොටගෙන වාර්ෂික කිරි නිෂ්පාදනය වාර්ෂික බිත්තර නිෂ්පාදනය මෙන් ම, ඒකපුද්ගල පරිභෝජනය වර්ධනය වී ඇත.

සබරගමු පළාතේ දුෂ්කර ගම්මානවල ජනතාවට ජාතික විදුලිබල පද්ධතියෙන් හා ඊට පරිබාහිරව විකල්ප විදුලිබලය ලබාදීම සඳහා රු.මි. 143.83 ක් පසුගිය වසර 05 තුළ සබරගමු පළාත් සභාව වැයකර ඇත. ඒ යටතේ ග්‍රාමීය විදුලි දිගු හා කුඩා විදුලි බලාගාර ව්‍යාපෘති 640 ක් ක්‍රියාවට නංවා තිබේ.

බටහිර සෞඛ්‍ය සංවර්ධනය මෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයන් මගින් පළාතේ ජනතාව වෙත නිරෝගී සුවය සලසා දීම සඳහා පසුගිය පස් වසර තුළ රු.මි. 149.6 ක් වැය කර තිබේ. ඒ මගින් පවත්නා ග්‍රාමීය ආයුර්වේද රෝහල් වැඩි දියුණු කිරීම, ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇති කිරීම, අලුතින් ආයුර්වේද වෛද්‍යවරුන් බඳවා ගැනීම, දේශීය ඔසු ගොවිපළ ඇති කිරීම, පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් ඇගැයීමට ලක්කර ඔවුනට අවශ්‍ය නිෂ්පාදන උපකරණ සැපැයීම සිදුකර තිබේ. එලෙසම එම සම්ප්‍රදායික කාර්යයන්ගෙන් ඔබ්බට ගොස් සංචාරක කර්මාන්තය හා බැඳුන පංචකර්ම මධ්‍යස්ථානයක් පින්නවල ඉදිකිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව පළාත් සභාව මගින් පසුගිය පස් වසර තුළ ආයුර්වේදයට සම්බන්ධිත ව්‍යාපෘතීන් 208 ක් ක්‍රියාවට නංවා තිබේ.

සබරගමු පළාත් සභාව මගින් ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් පසුගිය පස් වසර තුළ රු.මි. 377.21 වැයකර ඇත. ස්වයං ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍ය උපකරණ ලබාදීම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කිරීම මේ යටතේ ක්‍රියාවට නංවා තිබේ.

සබරගමු පළාතේ ප්‍රවේශවීමට අපහසු මාර්ග, ගම්මාන වෙත හා දුෂ්කර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය වර්ෂ 5 තුළ රු.මි.152.03 ක් වැය කරන ලද අතර, එහිදි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 581 ක් ක්‍රියාවට නංවන ලදී. මේ යටතේ විදුලිය, ජලය, ප්‍රවේශ මාර්ග, පොදු පහසුකම් ගොඩනැගිලි, බහුකාර්ය මධ්‍යස්ථාන ඉදිකර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු ප්‍රවර්ධනය

සබරගමු පළාත් සභාව පළාතේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් පසුගිය පස් වසර තුළ රු.මි. 158.38 ක් වැයකර ඇත. ඒ යටතේ ක්‍රීඩා පිටි 106 ක් (කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක 02 හි) ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබේ. එලෙසම ක්‍රීඩා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ක්‍රීඩා සමාජ, යෞවන සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ ලබාදීම, පළාත තුළ සිදුකරන ලදී. එසේ ම පසුගිය පස් වසර තුළ උක්ත සඳහන් අංශයන්හි ව්‍යාපෘති 211 ක් ක්‍රියාවට නංවා ඇත.

සබරගමු පළාතේ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා පසුගිය පස් වසර තුළ පළාත් සභාව මගින් රු.මි.65.57 වෙන් කරන ලද අතර, ඒ යටතේ පාරම්පරික කලා ශිල්පීන් නගා සිටුවීම පළාතේ නිර්මාණකරුවන්ගේ කෘතීන් මිලදී ගැනීම, කලා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම හා ඉපැරැණි විහාරස්ථාන සංවර්ධනයට පියවර ගැනීම වැනි කාර්යයන් ඉටුකර ඇත. ඊට අදාළව ව්‍යාපෘති 430 ක් පමණ ක්‍රියාවට නංවා තිබේ.

පළාත් පාලන හා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සලකා බලන කල පසුගිය වර්ෂ 05 ක් තුළ සුවිශේෂී වැඩ කොටසක් සබරගමු පළාත් සභාව ඉටුකර ඇත. විශේෂයෙන් ඝන අපද්‍රව්‍ය පිළිසර ව්‍යාපෘතීන් ඉදිකිරීම (බලංගොඩ) ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රාදේශීය සභා වෙත ලබාදීම (ට්‍රැක්ටර්, ගලිබවුසර්) පළාත් පාලන මාර්ග සංවර්ධය, මගී ආවරණ ඉදිකිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීය. ඒ සඳහා සබරගමු පළාත් සභාව රු.මි. 146.39 වැයකර ඇත.

සබරගමුව පළාත් සභාව පසුගිය පස් වසර තුළ පළාතේ නිවාස සංවර්ධනයට රු.මි.298.87 වැය කළේය. එහිදී විශේෂයෙන් නිවාස ප්‍රතිලාභීන් 1000 කට ආසන්න ප්‍රමාණයකට නිවාස ආධාර ලබා දී ඇත. විශේෂයෙන් ඒ යටතේ මුලික ව්‍යාපෘතින් 16ක් පසුගිය වසර 05 තුළ ක්‍රියාවට නංවා ඇත.

සබරගමු පළාත් සභාව පළාතේ අසරණ ජනතාවගේ සමාජ සුබසාධනය ඉහළ නැංවීම මුලික කර ගෙන ඇස් කණ්ණාඩි ලබාදීම, මහජන ආධාර ලබාදීම, රෝග ආධාර ලබාදීම, අක්ෂි කාච ලබාදීම වැනි කාර්යන් හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රු.මි. 186 ක පමණ වැය කර තිබේ.

ග්‍රාමීය සංවර්ධනය

මේ පළාත් සභාව පසුගිය පස් වසර තුළ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු.මි. 108.3ක් වැයකර ඇත. එසේම සබරගමුව පළාත් සභාව යටතේ විදේශ ආධාර හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මන වන විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නැංවේ.

JICA මාර්ග ව්‍යාපෘතිය 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ක්‍රියාවට නැංවෙන අතර, පළාතේ C හා D මාර්ග කාපට් කිරීම හා වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන ක්‍රියාවට නැංවේ. මේ යටතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල මාර්ග 20 ක් සංවර්ධනය කරනු ලබන අතර, ඒ මගින් මාර්ග කි.මී. 181 ක් සංවර්ධනය කරනු ලැබේ. මේ ව්‍යාපෘතිය සඳහා ජපන් ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා සංවිධානය හා ශ්‍රී ලංකා රජය රු.මි.1125 ක ප්‍රතිපාදන සබරගමු පළාත් සභාව වෙත ලබා දී තිබේ.

මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය (ඒ අදියර) යටතේ පළාතේ මාර්ග 54 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ. එලෙසම ඒ සඳහා රු.මි.3600 ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සබරගමුව පළාත් සභාවට ලබාදී තිබේ. මේ ව්‍යාපෘතිය, රාජ්‍ය සමාගමක් වන SD&CC ආයතනය මගින් ඉදිකිරීම් කටයුතු කරනු ලැබේ.

මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය (B අදියර) 2012 වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන අතර, පළාතේ හඳුනාගත් අත්‍යවශ්‍ය ග්‍රාමීය මාර්ග 43ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රු.මි. 3000 ක් සබරගමු පළාත් සභාව වෙත ලබාදී තිබේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙමින් පවතින අතර, එය බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරනු ලැබේ.

ජපන් ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා සංවිධානයේ (JICA) ආධාර මත වරකාපොල රෝහල සංවර්ධන කිරීම සඳහා රු.මි. 1000 ක ආයෝජනය කිරීමට කටයුතු කර ඇත. ඒ මගින් වරකාපොල මුලික රෝහල අංගසම්පුර්ණ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කෙරේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙමින් පවතී. (ආරම්භක අදියරේ පවතී.)

පළාත් පාලන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු ආධාර හා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත සබරගමු පළාත් සභාව මගින් ක්‍රියාවට නංවන අතර, ඒ යටතේ රු.මි.445.55 ක ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කර තිබේ. මේ ව්‍යාපෘතිය 2006 සිට 2011 කාලය තුළ ක්‍රියාවට නංවන ලදී. මේ යටතේ පුස්තකාල ගොඩනැගිලි, සෞඛ්‍ය මධ්‍යස්ථාන, ජලසම්පාදන ව්‍යාපෘති, අපවගන පද්ධති, සමූපකාර ගොඩනැගිලි, ආදාහනාගාර හා පොදු පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍ර ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ ප්‍රධාන ව්‍යාපෘතීන් 14 ක් ක්‍රියාවට නංවා අවසන් කර තිබේ.

සටහන

වෙල්ලස්සේ බණ්ඩාර

ඡායාරූප

රන්ජන් මඩගම්මන

සබරගමුව, ඌව විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා