පුළුස්සා දමා තිබු හිටපු සෙබළාගේ මළසිරුර බාරගන්න බිරියන් දෙදෙනෙක්

අඹේපුස්ස රජයේ ගොවිපල අසල

පුළුස්සා දමා තිබු හිටපු සෙබළාගේ මළසිරුර බාරගන්න බිරියන් දෙදෙනෙක්

පොලිස් නියෝගයෙන් නීත්‍යනුකූල බිරියට සිරුර බාරදෙයි

අඹේපුස්ස රජයේ ගොවිපල අසල පුළුස්සා දමා තිබියදී හමුවූ මළ සිරුර තම සැමියාගේ බවට ඊයේ (27) දහවල් මීරිගම පොලිසියට පැමිණි කාන්තාවන් දෙදෙනකු ප්‍රකාශ කරනු ලැබීමත් සමඟ පොලිස් විමර්ශන කටයුතු නව මගකට යොමු විය. මෙසේ මරා පුලුස්සා තිබුණේ හෝමාගම බෙරුකැටියේ පදිංචිව සිටි විපුල රෝහණ දිසානායක (39) නම් හිටපු යුද හමුදා සෙබළෙකි. සේවයෙන් විශ්‍රාම ගෙන විවිධ ව්‍යාපාරවල යෙදී ඇති බවද මෙම අය කලක සිට මුදල් පොලියට දීමේ යෙදී සිටි අයකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

හෝමාගම ප්‍රදේශයේ එක්දරු මවක වන 37 හැවිරිදි කාන්තාවක පොලිසියට පැමිණ මියගිය අය තම සැමියාගේ බව පවසමින් සිටියදී ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරන අතරවාරයේදී රූමත් තරුණ දියණියන් දෙදෙනකු සමඟ ආ කොස්ගම ප්‍රදේශයේ කාන්තාවක් වන හිටපු හමුදා සෙබළියක් මියගොස් සිටින අය 1994 දී තමා සමඟ විවාහ වූ අය බව ප්‍රකාශ කළාය.

මේ පිළිබඳව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, දරු දෙදෙනාගේ මව වන කාන්තාව මියගිය අයගේ පළමු විවාහක බිරිය බවත් ඇයගෙන් වෙන්ව ඇති මියගිය අය වසර කීපයක සිට අනෙක් කාන්තාව හා පවුල් කමින් සිට ඇති බවත් හෙළිවිය. ඔහු පළමු බිරියගෙන් නීත්‍යනුකූලව වෙන්ව නැති බවද ඉදහිට පළමු බිරිය හා දරුවන් බැලීමට යාමට කටයුතු කැර ඇති බවටද කරුණු අනාවරණය විය.

දෙවැනි බිරිය සමඟ ද ඔහු රත්නපුර ප්‍රදේශයේදී විවාහ වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම අය තවත් කාන්තාවන් ඇසුරු කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳවද සොයා බැලීමට පොලිසිය පියවර ගෙන ඇත.

මියගිය දිසානායක යන අය තම මිතුරකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මාස හතරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිට පසුගිය 26 වැනිදා ඇප මත නිදහස්ව ඇති අතර ඊට පෙර එම ඳතුරාගේ පිහි ඇනුමකට ලක්ව මෙම අය ප්‍රතිකාර ලබා ඇති බවද හෙළිවු බව පොලිසිය කියයි.

මේ අතර දිසානායක යන අය විනාශ කිරීම සඳහා ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයකු රුපියල් ලක්ෂ දහයකට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන තිබූ බවටද මීට මාස හතරකට පමණ පෙර සිට බල්ටි ප්‍රදීප් නැමැති එම පාතාල කල්ලි නායකයා අතුරුදන්ව ඇති බවද අනාවරණය වී ඇත.

මියගිය අය දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ ස්ථානයකින් ජීප් රියක් කුලී පදනම මත ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණයේදී හෙළිවී ඇති අතර සපුගස්කන්ද පොලිස් වසමේ කොට්ටුන්න වැව ආසන්නයේ දමා ගොස් තිබියදී ඉරිදා (26) දහවල් හමු වූ ඇතුලත ලේ තැවරුණු ජීප් රිය එම කුලී රිය බවටද පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ. ඩීසල් අවසන් වීමෙන් පසු එම ජීප් රිය එහි දමා ගොස් ඇති අතර එයින් පෙට්ට්‍රල් ගද වහනය වෙමින් පවතින බව පොලිසිය කියයි. ජීප් රියේ ඇති කාපට් හා මලසිරුර පිළිස්සු ස්ථානයේ තිබී හමු වූ කාපට් කැබැල්ල එකම වර්ගයේ ඒවා බවටද පොලිසිය හඳුනාගෙන ඇත.

මියගිය දිසානායක යන අය 25 වැනිදා උදේ අනියම් බිරියගේ නිවසේ සිට ජීප් රියෙන් දහවල් කෑමට එන බව කියා පිටව ගොස් ඇති අතර, එදින රාත්‍රියේ හෝ යළි නිවසට නොපැමිණීම නිසා අනියම් බිරිය 26 වැනිදා උදේ පාදුක්ක පොලිසියේ පැමිණිල්ලක් කැර ඇති බවද හෙළිවී ඇත.

මේ අතර මියගිය අය එදින දහවල් හෝමාගම නගරයේ හා පස්වරුවේ කිරිඳිවැල ප්‍රදේශයේ සිටි බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳවද අවධානය යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඔහු එදින පනාගොඩ යුද හමුදා කඳවුරට යන බව කියා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද තොරතුරු හෙළිකැර ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටී.

පොලිසියට ඉදිරිපත්ව ඇති බිරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන්කොට අධිකරණයට කරුණු වාර්තා කැර ගම්පහ මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව නීත්‍යනුකූල බිරියට දේහය බාරදීමට පියවර ගන්නා ලෙස අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර මහතා මීරිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනානායක මහතාට නියෝග කර ඇත. ගම්පහ පොලිස් අධිකාරි විජිත ඩී කොමසාරු මහතාගේ අධීක්ෂණය යටතේ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර මහතා මීරිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනානායක මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ මෙහෙයවති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා