ලොව දසත ශ්‍රී ලාංකික පිත්ත ගෙනයන කළුතර සුසන්ත ප්‍රදීප්

ලොව දසත ශ්‍රී ලාංකික පිත්ත ගෙනයන කළුතර සුසන්ත ප්‍රදීප්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පළාතේ පුවත්පත්වල ක්‍රීඩා පිටු සිරස්තල සරසන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැති මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මට මුණගැසිණි.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් අන්තර් සමාජ තරගාවලියන්හි පිත්තෙන් හා පන්දුවෙන් පෙළහර පාමින් ශ්‍රී ලංකා නාමය ලොව දසත පතුරුවමින් යන ඔහු තිස්දෙක හැවිරිදි සුසන්ත ප්‍රදීප් ය. ඔහු ක්‍රීඩකයකු පමණක් නොව පුහුණුකරුවෙකු ද වෙයි.ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉතාලිය, ඔස්ට්‍රියාව හා ප්‍රංශයේ ද ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන සුසන්ත කළුතරින් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

2005 වසරේ සිට මේ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවේ මුරුබින් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් වික්ටෝරියා උප දිස්ත්‍රික් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරයි. පිතිකරණයේ මෙන් ම පන්දු යැවීමේ ද ඔහු දක්ෂයෙකි.

අංක 4 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරන සුසන්ත තරගාවලියේ මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලබා ගෙන සිටී. ඒ, තරග අටකින් ලකුණු 472 කි. ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් (ලකුණු 89 හා 68) ඊට ඇතුළත්ව තිබේ. මීට අමතරව වික්ටෝරියා උප දිස්ත්‍රික් අන්තර් සමාජ විස්සයි20 මෙවර තරගාවලියේ ලකුණු 52, 53, 42, 42 හා 35ක් ලබා ගනිමින් දැනට වැඩි ම ලකුණු රැස්කර ගෙන සිටින පිතිකරුවා බවට සුසන්ත පත්ව සිටී. මඳ වේග පන්දු යවමින් තරග හයකදී කඩුලු 10ක් මේ ක්‍රිකට් වාරයේ දී ලබා ගෙන සිටී.

සෑම වසරකම මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගෙන ඔවුන්ට “වසරේ කණ්ඩායම” යනුවෙන් සම්මාන පිරිනැමේ. 2005 වසරේ සිට මේ දක්වා ම මේ සම්මානය හිමිකර ගැනීමට තරම් සුසන්ත හපනෙක් වී සිටී.

මීට අමතරව මුරුබින් ක්‍රිකට් සමාජයේ 2005 වසරේ සිට සෑම වසරක ම ‘සමාජ ශූරයා’ හා ‘හොඳම පිතිකරු’ බවට පත්ව සිටින්නේද ඔහු ය. සෑම වසරක ම සුසන්ත කණ්ඩායමේ ක්‍රීඩකයකුට අමතරව එහි පුහුණුකරු ලෙස ද කටුයුතු කරයි.

ශීත සෘතුවෙන් සෘතුවට ඔහු රටකින් තවත් රටකට ගොස් ක්‍රීඩා කරයි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන් ම පුහුණුකරුවකු ලෙසින් ද සුසන්ත ප්‍රදීප් ට එතරම් ඉල්ලුමක් තිබේ. එක් වසරක් ඇතුළත රටවල් තුනක ක්‍රීඩා කරන එකම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු ය. ඒ, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා ඉතාලිය යන රටවලය.

2001 සිට 2005 දක්වා ‘හෝස්ලි ඇන්ඩ් සේන්ට්’ ක්‍රිකට් සමාජය නියෝජනය කර සරේ ශූරතාවලියට සහභාගි වෙමින් සුසන්ත ප්‍රථම වතාවට එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කළේය. ඉක්බිති, 2005 සිට 2009 දක්වා ඉතාලි ලීග් තරගාවලියට ක්‍රීඩා කරන අතරවාරයේ ඉතාලියේ රෝම කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

මේ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා 2009 වසරේ සිට වර්තමානය තෙක් සේල්ස්බරි කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයේ ලැන්කෂයර් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටී. මේ තරගාවලියේ 2011 හා 2012 වසරවල හොඳම පිතිකරු වශයෙන් තේරී ඇත්තේ සුසන්ත ය. 2011 තරගාවලියේ ලකුණු 976ක් හා කඩුලු 50ක්ද, 2012 තරගාවලියේ ලකුණු 900ක් හා කඩුලු 49ක්ද ලබා ගැනීමට ඔහු සමත් විය.

ඔස්ට්‍රියාව හා ප්‍රංශයෙන් ලද ආරාධනා මත 2010 වසරේ එම රටවල සංචාරය කළ සුසන්ත එහිදී විස්සයි20 අන්තර් සමාජ තරගාවලියන්ට සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා