කවපෙත්ත විසිකිරීමේ ලෝක ශූරියට තරග තහනමක්

කවපෙත්ත විසිකිරීමේ ලෝක ශූරියට තරග තහනමක්

ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ කවපෙත්ත විසිකිරීමේ රිදී පදක්කම්ලාභී රුසියාවේ දර්යා පිෂුචල්නිකෝවා තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනා තහවුරුවීමේ හේතුවෙන් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය මගින් ඇයට තාවකාලික තරග තහනමක් පනවා තිබේ.

27හැවිරිදි දර්යා ඇනබොලික් ස්ට‍රොයිඩ් නමැති තහනම් ‍‍‍ඖෂධ භාවිතා කළ බව තහවුරු වී ඇතැයි රුසියානු තහනම් උත්තේජන විරෝධී ඒජන්සිය ප්‍රකාශ කළේය.

නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන දර්යා තමා නිර්දෝෂි බව ප්‍රකාශ කළාය.

මීට පෙර 2008වසරේ බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදිත් තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනාවට හසුවී වසර 2ක තරග තහනමකට ලක්වී සිටි බැවින් මෙවර ඇය ජීවිතාන්තය දක්වා තරග තහනමකට මුහුණපෑමේ අවදානමකට ලක්වී සිටින්නීය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමට අමතරව ඇය පසුගිය වස‍රේ දකුණු කොරියාවේ ඩේගු නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ කවපෙත්ත විසිකිරීමේ රන් පදක්කම දිනාගැනීමට ඇය සමත්වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා