කොන්දේසිවලට එකඟ නම් සාකච්ඡාවට සූදානම්

කොන්දේසිවලට එකඟ නම් සාකච්ඡාවට සූදානම්

උතුරු කොරියාව කියයි

ගිනියම් වී ඇති කොරියා අර්ධද්විපයේ තත්ත්වය සමනය කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියාව හෝ අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට නම් දැඩි කොන්දේසිවලට යටත් විය යුතු බව උතුරු කොරියාව ඊයේ ප්‍රකාශ කර තිබේ. ඒ අතර ප්‍රධාන කොන්දේසි වන්නේ ජගත් සංවිධානය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ අමෙරිකා - දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කිරීමට සහතිකයක් ලබා දීමයි.

උතුරු කොරියාව සමඟ කතිකාවක් පැවැත් වීමට සැබවින්ම ඇපකැප වන්නේ නම් මෙම කොන්දේසි ඉටු කළ යුතු බව උතුරු කොරියා ජාතික ආරක්ෂක කොමිසම ප්‍රකාශක් නිකුත් කර ඇත.

දකුණු කොරියාව සහ අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත්තේ කතිකාවක් ආරම්භ කිරීමට පෙර උතුරු කොරියාව වෙනසක් සිදුකිරීමට ඇපකැපවිය යුතු බවත් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතු බවත්ය .

සාකච්ඡාවකට අවතීර්ණ වන ලෙස දකුණු කොරියාව විසින් කරන ලද ඉල්ලීම උතුරු කොරියාව විසින් බරපතළ ලෙස සලකා බැලිය යුතු බවත් එරට ඉදිරිපත් කර ඇති කොන්දේසිවලින් හැඟී යන්නේ කතිකාවක් සඳහා කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් යැයි ජගත් මහ ලේකම් බැන් කී මූන් ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා