ගම්පහ දිස්ති‍්‍රක්කයේ කීඩෑ උවදුර . . .

ගම්පහ දිස්ති‍්‍රක්කයේ කීඩෑ උවදුර
ජංගම උපදේශන මගින් මැඬලයි

ගම්පහ දිස්ති‍්‍රක්කයේ කුඹුරු අක්කර සිය ගණනකට දැඩි ලෙස හානි පමුණුවමින් ශීඝ‍්‍රයෙන් පැතිරී ගිය කීඩෑ උවදුර, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යංශයේ උපදෙස් මත බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිසි කලට නිසි පියවර ගැනීම නිසා ඉතා සාර්ථකව මැඬපැවැත්වීමට හැකිවී ඇත.

ග‍්‍රාම සේවා වසම් 34 ක මෙම කීඩෑ හානිය දරුණු ලෙස පැතිරී තිබිණ. ගොයමේ පත‍්‍ර දුඹුරු පැහැයට හැරී අනුක‍්‍රමයෙන් පිදුරු බවට පත් කරන මේ කීඩෑ හානිය හඳුනා ගැනීම, මර්දනය කරන අන්දම, නිර්දේශිත කෘමි නාශක ආදිය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ ජංගම උපදේශන වැඩසටහන් එම ග‍්‍රාම සේවා වසම් 34 පුරාම පැවැත්විණි.

ඉකුත්දා හල්ගම්පිටිය, තිරිවානේගම, දඩගමුව, හිරිපිටිය, දාරළුව, පිටියෙගෙදර, හීන්දෙණිය, බෙම්මුල්ල, කඳඔළුවාව, බණ්ඩාරබටවල, වටද්දර, එළුවාපිටිය, මුඩගමුව ගම්වල ප‍්‍රායෝගික උපදේශන වැඩසටහන් පැවැත්විණි.

ගොයම් පඳුරු මෑත්කර පඳුර පාමුල පරීක්ෂා කරන විට තදින් වියළී තිබේ නම්, බත්කූරන් වැහි ලිහිණියන් වැනි සතුන් ගොයම් ගස් අතරින් ඉහළ අහසට ඉගිලී යානම්, ඒ කීඩෑ හානියේ මුල් අවස්ථාව බවද, ඉක්මණින් ජලය බස්සවා කුඹුර වියළීමට හැර ලීයකින් පඳුරු ඈත්කර හිරුඑළිය වැටීමට සලස්වා දියර ඉසිනයකින් ‘ඇක්ටාරා’ ‘ඇඩ්මයර්’ හෝ මාටාමිඩං කෘමි නාශක ඉසීමෙන් කීඩෑවා මර්දනය කළ හැකි වන බවද මෙහිදී ගොවීනට පැහැදිලි කර දෙනු ලැබිණි. කීඩෑ හානිය හඳුනා ගැනීම, නිවාරණය කරන පුහුණුව හා දැනුම මෙසේ ගොවීනට ලබාදීමට හැකිවීම නිසා වගා හානිය අවම කර ගැනීමට ඔවුන් සමත්වී ඇතැයි කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරිනී චන්ද්‍රිකා විජේසුන්දර මහත්මිය පැවැසුවාය.

ගම්පහ දිස්ති‍්‍රක් කෘෂිකර්ම උපදේශක එන්. රොඩ්රිගො, බෙම්මුල්ල කෘෂිකර්ම උපදේශක චතුර රාජපක්‍ෂ සහ ඒ ඒ කොට්ඨාසවල කෘ. ප. නි. ස. මහත්ම මහත්මීහු මෙම ජංගම උපදේශන වැඩසටහනට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා