මගේ මහත්තයා සටන් බිමට ගියේ . .  .

මගේ මහත්තයා සටන් බිමට ගියේ
යහපත් ලස්සන රටක් ගොඩ නඟන්නයි

චමින්ද උපුල් ප‍්‍රසන්න රණවිරුවාගේ බිරිය කඳුළු සලමින් කියයි

“මා එනකල් පුතාව හොඳින් බලාගන්න අප දරුවාට ජීවත්වීමට රටක් ඕනෑ රට ත‍්‍රස්තවාදින්ගෙන් බේරාගෙන යහපත් ලස්සන ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට මා සටන් බිමට යනවා කියා ගිය මහත්තයා මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදී සිටියා.


මියගිය ක්‍රෝප‍්‍රල් ප‍්‍රසන්න මහතාගේ බිරිය තම දරුවා සමඟ දේහය අසල
ඡායාරූපය පමුණුගම සමූහ
ඩී. එන්. බී. කිරිහෙට්ටි

ජනවාරි මස 26 දිනත් මා සමඟ දුරකථනයෙන් කථා කළා. දින දෙකකට පස්සේ මේ නරක ආරංචිය මට ලැබුණා යැයි විශ්වමඩු සටන් කඳවුරේදී මියගිය ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ක්‍රෝප‍්‍රල් එච්. චමින්ද උපුල් ප‍්‍රසන්න රණවිරුවා ගේ ආදර බිරිය ඇනට් ශ්‍යාමලී මහත්මිය අවුරුදු එකහමාරක් වයසැති තම පුතාව තුරුලු කරගෙන ඇඩූකඳුලින් පැවැසුවාය.

අනුරාධපුර තුලාව 409 ගම්මානයේ මුදුනේගම පදිංචිව සිටි ක්‍රෝප‍්‍රල් ප‍්‍රසන්න රණවිරුවා දරු හත්දෙනෙකුගේ පවුලක තුන්වැනියා වන අතර තලාව මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලබා අම්පාර යුද හමුදා කඳවුරේ පුහුණුව ලබා අවුරුදු දොළහක් උතුරේ වව්නියාව, කුඩාඔය, ගන්නෝරුව, යාපනය, අලිමංකඩ, විශ්වමඩු ප‍්‍රදේශවල කි‍්‍රයාන්විත රාජකාරියේ නිරතව සිට තිබේ.

මීට වසර හතරකට පෙර පමුණුගම බෝපිටිය ඇනට් ශ්‍යාමලී නමැති තරුණියක් සමග විවාහව ප‍්‍රදේශයේ සැමගේ හොඳ හිතා දිනාගෙන කුඩා නිවෙසක ජීවත් විය. ඔහුට දාව උපන් සිඟිත්තාගේ අනාගතය පිළිබඳව සිහින අද බොඳවී ගොස්ය. ඔහුගේ තරුණ බිරිය අද තනිවී ඇත.

ක්‍රෝප‍්‍රල් ප‍්‍රසන්න රණවිරුවාගේ අවසන් කටයුතු පමුණුගම බෝපිටිය පොදු සුසාන භූමියේ හමුදා ගෞරව මැද භූමදානය කෙළේ විශාල ජනතාවගේ සෝ සුසුම් මැදයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා