ආගමික මෙහෙවරේ යෙදුණු භික්ෂූන් වහන්සේට . . .

ආගමික මෙහෙවරේ යෙදුණු භික්ෂූන් වහන්සේට
උපහාර දැක්වීම සසුනේ දියුණුවට හේතු වෙනවා

- බෞද්ධ කටයුතු කොමසාරිස්

වසර පනහක් පුරා හොරණ ප‍්‍රදේශයේ ආගමික, ශාසනික, සමාජ, සංස්කෘතික මෙහෙවරක යෙදුණු ස්වාමින් වහන්සේ වෙනුවෙන් හොරණ ‘ජනසරණ භික්‍ෂූ සංසදය’ මඟින් කරන ලද ගෞරවනීය උපහාර සහ ඇගයීම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ඉතා වැදගත් වන්නේ යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසීය.

හොරණ ප‍්‍රදේශයේ වසර 50 කට වැඩි කාලයක් ආගමික ශාසනික සමාජ සංස්කෘතික මෙහෙවරක නියුක්තවූ විහාරාධිපතින් වහන්සේ නව නමක ඇගයීම නිමිති කරගෙන මේ උත්සවය පැවැත්විණි. ‘නොහිමි මෙහෙවරට පැසසුමක්’ යන තේමාව යටතේ මේ ඇගයීමේ උත්සවය පැවැත්විණි.

කහටපිටිය ශී‍්‍ර සුනේත‍්‍රාරාම විහාරාධිපති නාරගල සරණසිරි, රයිගම් සල්පිටි කෝරළත‍්‍රයේ ප‍්‍රධාන සංඝනායක හොරණ රජමහා විහාරාධිපති හොරණ පඤ්ඤාශේඛර නාහිමි, උඩුගම දෙගම්තිලකාරාමය, මඩකඩ ඉසිපතනාරාමය, උභය විහාරාධිපති බටුගම්පොළ ධම්මිස්සර මාහිමි, හඳපාන්ගොඩ ගණේවිහාරාධිපති කොටිගල ධම්මරතන මාහිමි, වෑවල ඉසිපතනාරාමය, බොද්දෙල්ගොඩ ශී‍්‍ර දේවරක්‍ෂිතාරාමය, උභය විහාරාධිපති රයිගම් කෝරළේ උප ප‍්‍රධාන සංඝනායක අකුරණ පඤ්ඤාරංසි නාහිමි, කුඹුක ශී‍්‍ර සුධර්මාරාමාධිපති කැන්නන්තුඩාවේ ගුණාලංකාර මාහිමි, බටුවිට ජයශේඛරාමාධිපති, බටුවිට ධම්මින්ද මාහිමි, දික්හේනපුර ශී‍්‍ර පුෂ්පාරාම විහාරාධිපති විශ‍්‍රාමික ධර්මාචාර්ය ඉහළ නාරගල විහයසිරි මාහිමි, රයිගම් සල්පිටි හේවාගම් කෝරළත‍්‍රයේ උප ප‍්‍රධාන සංඝනායක මුණගම මෛතී‍්‍රමූර්ති නාහිමි මේ උත්සවයේදී උපහාරයට ලක්වූහ.

තවදුරටත් කතා කළ චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා මෙසේද පැවසීය.

වසර පනහකට වැඩි සේවයක් වෙනුවෙන් මේ ගෞරව සේවා ඇගයීම් කළේ ජීවිත කාලය තුළදී මෙබඳු සුවිශේෂී ඇගයීමක් කිරීම ඉතාම වටිනවා. වසර පනහක් තුළ මෙබඳු පුළුල් මෙහෙවරක් ඉටුකරන්නට ශරීර සෞඛ්‍යත් මානසික සෞඛ්‍යත් ඉතා අවශ්‍ය වෙනවා.

බස්නාහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක මීවනපළාන ශී‍්‍ර සුනන්ද්‍රාරාමාධිපති මීවන පළානේ සුමේධ නාහිමි.

ජනසරණ භික්‍ෂූ සංසදයේ සභාපති හොරණ පෝරුවදණ්ඩ තිලකරාම විහාරස්ථානයේ විහාරාධිපති හඳපාන්ගොඩ පඤ්ඤාසේඛර හිමිපාණන් වහන්සේ සිදු කළාවූ මේ භාරධූර කාර්යය ඉතා ඉහළින් අගය කළ යුතු වෙනවා. තමන් වැඩසිටින කාලයේ මෙබඳු විශිෂ්ට ගෞරව උපහාරයක් ලැබීම සුවිශේෂියි.

පානදුර තොටමුණ - සහිත රයිගම් සල්පිටි දෙකෝරළයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නාහිමිපාණෝ “සසුනේ පෙර සිරිත්” හිසින් විශේෂ දේශනයක් පැවැත්වූහ. තිලකාරාමාධිපති හඳපාන්ගොඩ පඤ්ඤාශේඛර හිමිපාණෝ පිළිගැනීමේ කතාව පැවැත්වූහ.

මේ අවස්ථාවට කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජන්තා ද සොයිසා, ශී‍්‍ර ලංකා ගෙව්ජින් මහා නිකාය රක්‍ෂක සභාවේ සභාපති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, සමෘද්ධි හා ග‍්‍රාම සංවර්ධන අධ්‍යක්‍ෂ සුනිල් වීරසිංහ, හොරණ ප‍්‍රාදේශීය ලේකම් නිශාන්ති වීරසිංහ, ඉංගිරිය ප‍්‍රා/ලේ ජයන්ත ධර්මසේන, අගලවත්ත ප‍්‍රා/ලේ කේ. ටී. අමරදාස, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරත් ගුණතිලක, හොරණ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමරසේන මුදලිගේ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා