එංගලන්තය අළු බඳුන ජය ගනියි

එංගලන්තය අළු බඳුන ජය ගනියි

පොන්ටිං වාර්තා පොතට

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕවල් හිදී පැවැති පස්වැනි හා අවසාන ටෙස්ට් තරගයේ තවත් දිනයකටත් වඩා ඉතිරිව තිබියදී ලකුණු 197ක දැවැන්ත පරතරයකින් තරගය ජය ගත් එංගලන්තය තරග 2 – 1ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ‘අළුබඳුන’ දිනා ගත්තේය.

මේ පරාජයත් සමඟ, එංගලන්තයේදී ‘අළුබඳුන’ තරගමාලා දෙකක් පරාජය වූ දෙවැනි ඔස්ට්‍රේලියානු නායකයා ලෙසින් රිකී පොන්ටිං හට අනවශ්‍ය වාර්තාවක් හිමි විය. පළමු නායකයා වූයේ 1890 වසරේ බිලී මර්ඩොක්ය.

එංගලන්ත පොලවේ ලත් තවත් ‘අළු බඳුන’ පරාජයෙන් කලකිරීමට පත්ව සිටියද නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳ තමා කල්පනා කර නැතැයි රිකී පොන්ටිං පැවැසීය.

“කොළ තොප්පිය පැලඳ මා කළ කිසිම දෙයක් පිළිබඳ මා තුළ කිසිම සැකයක් තිබුණේ නැහැ” පොන්ටිං කීවේය.

“මා සෑම විටම පිටියට ගොස් මට හැකි උපරිමයෙන් අභියෝග බාර ගන්නවා. මට අද (පෙරේදා) ශතකයක් ලබා ගැනීමටත් දැවී යන අවසන් පිතිකරුවා වීමට වුවමනා වුණා.”

මට එය කරන්න බැරි වුණා. නායකයා වශයෙන් මට පුළුවන් තරම් හොඳින් ක්‍රීඩා කිරීමටත් මෙහි ජයග්‍රාහී නායකයා බවට පත් වීමටත් මට අවශ්‍ය වුණා.”

“නමුත් මට ඒකත් කරන්න බැරි වුණා. මගේ ක්‍රීඩාව ගැන මා කලකිරී සිටිනවා’ යැයි ද පොන්ටිං කීවේය.

තවමත් ලොව හොඳම පිතිකරුවෙකු වන 34 හැවිරිදි පොන්ටිං පෙරේදා තරගයේ දුවද්දී දැවී යාමට පෙර මනා ක්‍රීඩා කෞශල්‍යයකින් යුතුව ලකුණු 66ක් රැස් කෙළේය. ඔහු දැවී ගියේ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් විසින් පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කිරීමෙනි. එය ජයග්‍රහණය කරා යන එංගලන්ත ගමන නැවත ප්‍රාණවත් කෙළේය.

වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 37කට කඩුලු 5ක් බිඳ හෙලීම මත ඔස්ට්‍රේලියාව ලකුණු 160කට දැවී ගියේය. ඒ, එංගලන්තය පළමු ඉනිමේ ලබාගත් ලකුණු 332ට පිළිතුරු වශයෙනි.

එංගලන්තය දෙවැනි ඉනිමේදී ඔවුන්ගේ වාසිය තවදුරටත් වැඩිකර ගනිමින් කඩුලු 9ට ලකුණු 373ක් ලබා ගෙන ඉනිම නතර කෙළේය. ජොනතන් ට්‍රොට් ඔහුගේ මංගල ටෙස්ට් ශතකය මෙහිදී වාර්තා කෙළේය.

කඩුලු 2කට ලකුණු 217ක් ලබාගෙන සිටි ඔස්ට්‍රේලියාව අවසානයේ ලකුණු 348කට දවාලනු ලැබීය. පිට දඟ පන්දු යවන ග්‍රහැම් ස්වෝන් ලකුණු 120 කට කඩුලු 4ක් ද වේග පන්දු යවන ස්ටීවන් හාම්සන් ලකුණු 54කට කඩුලු 3ක් ද බිඳ හෙලූහ.

2005 වසරේ ඔස්ට්‍රේලියාව ‘අළු බඳුන’ ටෙස්ට් තරගමාලාව පරාජය වූයේද තරග 2 – 1 කිණි.

ඕවල්හිදී ලත් මේ පරාජය ‘අළු බඳුන’ තරගමාලා පහකදී ඔස්ට්‍රේලියාව ලත් තෙවැනි පරාජය වෙයි. ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මුදුනේ සිටි ඔස්ට්‍රේලියාව මේ පරාජයත් සමඟ සිවුවැනි ස්ථානය දක්වා පහළට වැටිණි. කෙසේ වෙතත් ඔවුන් තවමත් එංගලන්තයට වඩා එක් ශ්‍රේණියකින් ඉහලින් සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා