ඊරියවැටිය අරුණළු පිලට තුන්කොන් එල්ලේ ජය

ඊරියවැටිය අරුණළු පිලට තුන්කොන් එල්ලේ ජය

ඊරියවැටිය අරුණළු, තුඩුවේගෙදර සාගර, සහ මැදකොළඹ ශ්‍රී විජය පිල් අතර පැවැති තුන්කොන් එල්ලේ තරගයෙන් ඊරියවැටිය අරුණළු පිලට ජය අත්විය.

තුසිත බණ්ඩාර අභියෝග කුසලාන සඳහා හුණුපිටිය - බණ්ඩාරනායක මහ විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තුන්කොන් තරග මාලාවේ අවසන් මහ තරගයෙන් ඊරියවැටිය අරුණළු කන්ඩායම වෙතින් පරාජය ට පත්වූයේ මැද කොළඹ ශ්‍රී විජය කණ්ඩායමයි.

ඊරියවැටිය අරුණළු කණ්ඩායමට නිලඇඳුම් කට්ටලයක් පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට සහභාගි වූ කම්කරු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අතින් සිදුවිය.

මෙහිදී මුල් තරගය ඊරියවැටිය අරුණළු පිල සහ තුඩුවේගෙදර සාගර පිල අතර පැවැත්විණි. එම තරගයෙන් සාගර පරදා අරුණළු පිල ජය ලැබීය.

දෙවන තරගය තුඩුවේගෙදර සාගර පිල සහ මැද කොළඹ ශ්‍රී විජය පිල අතරේ පැවැත්විණි. එම තරගයෙන් ශ්‍රී විජය පිල පහසු ජයක් අත්කර ගත්තේ ය.

අවසන් මහ තරගය ඊරියවැටිය අරුණළු පිල සහ මැද කොළඹ ශ්‍රී විජය පිල අතරේ පැවැත්වි¼ණි. මේ දෙපිල අතරේ පැවැති තරගය උණුසුම් ලෙස පැවැති අතර අවසානයේ ඊරියවැටිය අරුණළු පිල ශ්‍රී විජය පිල පරදා ජය ලැබී ය.

මෙම තරගයේ වැඩි ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙසට ශ්‍රී විජය පිලේ ශාන්ත කුමාරයන් ද වැඩි උඩපන්දු රැකගත් ක්‍රීඩකයා ලෙසට අරුණළු පිලේ නාමල් සුමේධයන්ද හොඳම ධාවකයා ලෙසට ශ්‍රී විජය පිලේ මධුරංගයන්ද දක්ෂතම ක්‍රීඩකයා ලෙස අරුණළු පිලේ රොෂාන් විජේරත්නයන්ද මෙහිදී තිළිණ දිනා ගත්තේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා