හියුගෝ චාවේස් චරිතය චිත්‍රපටයකට

හියුගෝ චාවේස් චරිතය චිත්‍රපටයකට

සුප්‍රසිද්ධ අමෙරිකන් චිත්‍රපට නිෂ්පාදකයෙක් වන ඔලිවර් ස්ටෝන් විසින් වෙනිසුවෙලා ජනාධිපති හ්‍යුගෝ චාවේස්ගේ චරිතය වටා වාර්තා චිත්‍රපටයක් නිපදවා ඇත. ඉකුත් සඳුදා එය වැනීසියානු චිත්‍රපට උලෙළේදී තිරගත වූ අවස්ථාවට හියුගෝ චාවේස්ද සහභාගි විය.

මේ අවස්ථාවේදී රතු පලස මත විනාඩි විස්සකට අධික කාලයක් නිෂ්පාදක ස්ටොන් සමඟ රැඳී සිටි චාවේස් එක්රැස් වූ අය සමඟ සුහද පිළිසඳරේ යෙදීමටත් කෙටි සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටත් ඉඩ කඩ සලසා දුනි. චාවේස් සිනමා ශාලාව තුළට ඇතුළු වූ අවස්ථාවේදී අසුන්ගෙන සිටි සියල්ලන්ම ආසන වලින් නැගිට ඔල්වරසන් දෙමින් ඔහු පිළිගත් බව වාර්තා වේ.

චිත්‍රපටය නරඹා පිටතට පැමිණි අවස්ථාවේදී ඔහු වටා රොක් වූ මාධ්‍යකරුවන්ට චාවේස් පවසා සිටියේ අපගේ ගැලවුම්කරුවා සමාජවාදය බට ඇමෙරිකාව සහ යුරෝපය වටහාගත යුතු බවයි.

මේ වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය චාවේස්ය. චාවේස් නිසා දකුණු ඇමෙරිකාවේ සිදුවෙමින් පවතින ‘සාමකාමී විප්ලවය’ මෙහි හුවා දක්වා තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය බොහෝ අවස්ථාවලදී චාවේස් ‘පොදු සතුරෙක්’ ලෙස හැඳින්වීමට දරන ප්‍රයත්නය මේ වාර්තා චිත්‍රපටයෙන් පිටුදැකීමට උත්සාහ දරා තිබේ.

වෙනිසුවේලාවේ අති විශාල සාමාජීය වෙනසක් සිදුවී ඇති බවත් දුගී දුප්පත්කම අඩකින් පමණ අඩු වී ඇති බවත් ලෝක බැංකුව පවා පිළිගෙන තිබේ. කලාපීය වශයෙන්ද මෙහි බලපෑම් දක්නට ඇති බව තිර රචක අලී පවසයි.

කියුබානු නායක ෆිඩෙල් කැස්ත්‍රෝගේ චරිතය අළලා 2003 තිරගත කළ චිත්‍රපටයත්, 1986 දී ‘සැල්වඩෝ’ නැමැති ඇමෙරිකා යුද චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේද ඔලිවර් ස්ටෝන්ය.

කෙසේ වෙතත් චාවේස් ජනතාව උසිගන්වන නිදහසේ කථා කිරීමේ අයිතිය පැහැරගත් නායකයෙක් බවට ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීහූ චෝදනා නගති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා