බස් සේවා දෙකම නවතා දමලා මඟීහු අසීරුවේ

බස් සේවා දෙකම නවතා දමලා මඟීහු අසීරුවේ

කළුතර ලංගම ඩිපෝව මගින් ධාවනය කළ කළුතර ඉදිලන්ද හරහා උඩුවර හා හොරණ ඩිපෝව මගින් ධාවනය කළ හොරණ, අඟුරුවාතොට, උඩුවර හරහා ඉදිලන්ද දක්වා ධාවනය වූ බස් සේවා දෙක දැනට අවුරුදු දෙකක් පමණ කාලයේ සිට ක්‍රියාත්මක නොවීම නිසා ඉදිලන්ද, උඩුවර, පාතකඩ යන ගම්වල ජනතාවට ගමනා ගමන දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබේ.

කලින් පැවැති බස් සේවා අත්හිටුවා ඇත්තේ ඉදිලන්ද – උඩුවර මාර්ගය කැඩී බිඳී තිබුණු නිසා යැයිද මේ වන විට මේ මාර්ගය අලුත්වැඩියා කැර ඇතත්, බස් සේවා නැවත ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නැතැයි ප්‍රදේශවාසීහු කියති.


කෘෂි ක්ෂේත්‍ර පිළිබඳ සංයුක්ත තැටි බෙදා හැරීමට පියවර

බහුමාධ්‍ය සංයුක්ත තැටි නිෂ්පාදනය කර ගොවි ජනතාව අතර බෙදා හැරීමට පියවර ගෙන ඇති බවත්, කෘෂිකාර්මික තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය මේ වන විට තෝරා ගත් කෘෂිකාර්මික භෝග සහ ක්ෂේත්‍ර 31ක් යටතේ එවැනි සංයුක්ත තැටි නිෂ්පාදනය කැර ඇති බවත් වාර්තා වේ.

කෘෂි තොරතුරු මධ්‍යස්ථාන හරහා මෙසේ බෙදා හැරීම කෙරේ. ගොවි ජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන්ද කඩිනමින් ද ලබාදීම පිණිස රට පුරා කෘෂි තොරතුරු මධ්‍යස්ථාන 45ක් පිහිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබේ.

සෑම මධ්‍යස්ථානයකටම පරිගණකයක්, පි‍්‍රන්ටරටයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඩිජිටල් කැමරාවක් ඇතුළු සියලු උපාංග ද සැපයේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා